උඩප්පුව කීරියන්කල්ලිය ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකකරන තිදරු පියෙකු පෙරේදා (14දා) අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලීසිය පවසයි.
 

එම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. සැකකරු විසින් ඇය සහ ඇගේ මව රවටාගෙන කලක පටන් මෙම නිවසට පැමිණ ඇති අතර මවට විවිධාකාරයෙන් උදව් කර ඇති බවත් අවස්ථා කිහිපයකදී මෙම දැරිය අපයෝජනයට ලක් කර ඇති බවත් පොලීසියට ඉදිරිපත් කළ එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

දැරියගේ ශාරීරික වෙනස්කම් දැක ඒ පිළිබඳ විමසීමේදී සැකකරු විසින් තමන්ට සිදු කළ අතවර පිළිබඳව මවුපියන්ට පැවසීමෙන් අනතුරුව ඔවුන් විසින් සිද්ධිය පිළිබඳ පොලීසියට මෙම පැමිණිලි කර ඇත.

පොලීසිය අපරාධය සම්බන්ධයෙන් මවුපියන්ටද සෘජුවම චෝදනා කරන අතර ඒ සඳහා වගකිවයුතු බවද පවසයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ උඩප්පුව පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෛද්‍ය පරික්ෂණයක් සඳහා ද පුත්තලම රෝහලට ඇතුළත්කර ඇත.

උඩප්පුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගාමිණි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ඩබ්.ඒ.වික්‍රමසිංහ, පොලිස් සැරයන් ජූඩ්, කාන්තා පොලිස් කොස්තාපල් තිසාරා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
- ලලිත් නවරත්න -