කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සාමාන්‍ය ගුවන් මෙහෙයුම් සඳහා වසා තිබියදී ඊයේ (10) දින උදෑසන 8.30න් අවසන් පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 167දෙන්නෙකු මෙරටට පැමිණ තිබිණි.


එසේම තවත් ශ්‍රී ලාංකික මගීන් 507දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, කිලෝ ග්‍රෑම් 157,569ක් බර ගුවන් භාණ්ඩ තොගයක් මෙරටට ආනයනය කර තිබූ බවත්, කිලෝ ග්‍රෑම් 213,000ක් බර භාණ්ඩ තොගයක් ගුවන් මගීන් අපනයනය කර තිබූ බවත් වාර්තා වේ.

මැදපෙරදිග ඇතුළු වෙනත් රටවල රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙසේ පැමිණ තිබූ අතර, ඔවුන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහල්වල සෞඛ්‍ය කාර්යමණ්ඩල විසින් පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමෙන් පසුව සංචාරක හෝටල් වෙත නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

එසේම මෙම කාලය තුළ මැදපෙරදිග, යුරෝපයේ ඉතාලිය සහ එංගලන්තය මෙන්ම ජපානය සහ අප්‍රිකාව වෙත රැකියා, වනපාරික සහ අධ්‍යාපන අවශ්‍යතා සඳහා ශ්‍රී ලාංකික ගුවන් මගීන් මෙසේ කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබිණි.

මෙසේ පිටත්ව ගොස් තිබූ පිරිස අතර ජපානයේ නරිටා වෙත 183දෙනෙකුද, සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරි සඳහා ශ්‍රී ලාංකික යුද හමුදා භටයන් 84දෙනෙකු සිය යුද උපකරණද සමග ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර වෙත ඉතියෝපියානු ගුවන්යානයකින් පිටව ගොස් ඇත.

එසේම ඒ සමාගම මෙම පැය 24ක කාලය තුළ බෙහෙත්, ඖෂධ, වෛද්‍ය උපකරණ තොගයක් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර තිබිණි.

එමෙන්ම ආහාර ද්‍රව්‍ය, මල් ඇතුළු තවත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 213,000ක් මේ ආකාරයට ශ්‍රී ලංකාවෙන් ගුවන් මගීන් අපනයනය කර ඇත.
 - ටී.කේ.ජී. කපිල -