මේ වසරේ ගතවූ මාස එකොළහ තුළ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මී උණ ආසාදිතයන් 128ක් වාර්තා වී ඇති බවත් ඉන් 19දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.
 

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පෙරේදා (15දා) එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල යන සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම කමිටු රැස්වීම පැවැත්විණි. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ වසංගත රෝග විද්‍යාඥවරයා,

"මේ වසරේ මී උණ ආසාදිතයන් වැඩි වීමට ප්‍රධානම හේතුව කෝවිඩ් ව්‍යාප්ති සමයේ බොහෝ දෙනෙක් ඩොක්සිසයික්ලින් මී උණ ප්‍රතිජීවක ඖෂධය ලබා නොගෙන පුරන් කුඹුරු අස්වැදීම වැනි වගා කටයුතුවලට යොමු වීමයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වසම් 19න් වැඩිම මී උණ ආසාදිතයන් ප්‍රමාණය වූ 168ක් කුරුවිට කොට්ඨාසයෙන් වාර්තා වූ අතර ඉන් දෙදෙනෙක් මිය ගියා. පැල්මඩුල්ල කොට්ඨාසයෙන් 131ක් වාර්තා වූ අතර ඉන් එක් ආසාදිතයක් මිය ගියා.

මී උණ මරණ පහක් සිදු වූ කලවානින් රෝගීන් ගණන 93ක්, ඇහැලියගොඩින් මී උණ මරණ තුනක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් ගණන 101ක්. බලන්ගොඩින් ආසාදිතයන් 73ක්, රත්නපුර නගර සභා කොට්ඨාසයෙන් ආසාදිතයන් 33ක් හා ‍කොට්ඨාස දෙකෙන්ද එක් මරණය බැගින් වාර්තා වූවා.

රත්නපුර ප්‍රාදේශීය සභා කොට්ඨාසයෙන් ආසාදිතයන් 100ක්, කිරිඇල්ලෙන් 28ක් හා ඕපනායකින් 19ක්ද හඳුනාගෙන තිබුණා. එම කොට්ඨාස තුනෙන්ද මරණ දෙක බැගින් වාර්තා වූවා. මරණ කිසිවක් වාර්තා නොවුවත් ඇලපාතින් 72ක්, නිවිතිගලින් 69ක්, කොළොන්නෙන් 54ක්, ඉඹුල්පෙන් 40ක්, කහවත්තෙත් 34ක්, ඇඹිලිපිටිය සහ ගොඩකවෙලින් 30 බැගින්ද, උඩවලවෙන් 34ක්ද, වැලිගෙපොලින් 16ක් හා අයගමින් 13ක් මී උණ ආසාදිතයන් හමුවී තිබෙනවා. රෝගය රත්නපුර දිස්ත්‍රික්කයට විශාල තර්ජනයක්ව තිබෙනවා.


මී උණ රෝගීන්ගෙන් 99%ක් මඩ ආශ්‍රිතව ගැවසී ඇති පුද්ගලයනුයි. එහෙත් වැඩිපුරම මඩ ආශ්‍රිතව කටයුතු කරන ගොවීන් සහ පතල් කම්කරුවන්ට රෝගය වැලදී තිබූ ප්‍රතිශතය 40%ක්. ඉතිරී 60%, සරුංගල් යැවීමට වෙල්වලට ගිය පාසල් දරුවන් හා අහඹු ලෙස මඩ සහිත පරිසරයකට ගොස් ඇති ගුරුවරුන්, හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින්, වැනි අයයි.

මී උණ බෝවන්නේ බැක්ටරියාවකින් වන අතර  එය රෝගියෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ නැහැ. සතුන්ට මී උණ රෝගය ආසාදනය වීමේ ඉඩකඩ ඇති බවත් බැක්ටීරියාව ආසාදිත වූ මීයන්, ගවයන්, ඌරන් වැනි සතුන්ගේ මුත්‍රා මගින් රෝග කාරක බැරියාව බාහිර පරිසරයට සහ පසට එකතු විය හැකියි. එවැනි බැස්ටීරියා මුදාහැරුණු ජලය සහ පස් ආශ්‍රිතව ගැවසෙන පුද්ගලයන්ට ඔවුන්ගේ සම හරහා මෙන්ම ඇස, නාසය, මුඛය වැනි ශ්ලේෂමල පටල හරහා ශරීරගත විය හැකියි. මී උණ බැක්ටීරියාව මිශ්‍ර ජලය පානය කිරීමෙන් ද මිනිසාට රෝගය වැලදීමේ ඉඩ ඇති නිසා කුඹුරුවල වක්කඩවලින් මුහුණ සේදීම නොකිරීමට ගොවීන් වග බලා ගැනීම සුදුසුයි.

එම නිසා මඩ සහිත ක්ෂේත්‍රවලට බැසීමට පෙර ඩොක්සිසයික්ලින් මී උණ ප්‍රතිජීවක ඖෂධය ලබා ගන්නේ නම් රෝගය වැලඳීම වළක්වා ගත හැකියි.

මේ වනවිට සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, රජයේ රෝහල් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු හරහා නොමිලේ මෙම ප්‍රතිජීවක ඖෂධය ලබා දෙනවා. එම ඖෂධය මිලිග්‍රෑම් 200 කරලක් සතියකට එක බැගින් කෑමෙන් පසු සති හයක් පානය කිරිමෙන් මී උණ වළක්වා ගත හැකියි. එසේම අවුරුදු 12 පහළ දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට මෙම ප්‍රතිජීවක ඖෂධය භාවිතයට නුසුදුසුයි.” යැයිද පවසා සිටියේය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා, ගාමිණී වම්බොඩ, වරුණ ලියනගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය ඇතුළු පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියහ.
- අජිත්ලාල් ශාන්තඋදය -