අසූ නවය භීෂණ සමයේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කර ප්‍රදේශයෙන් පැන ගොස් වසර 31 ක් තිස්සේ සැගවී සිටි බව කියන මරණ දඬුවම නියම වූ සැකකරුවකු පෙරේදා (08) රාත්‍රී කොළොන්න ප‍්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.   එම සැකකරු නොමැතිව අදාළ නඩුව මාතර මහාධිකරණයේ දී විභාග කර 1996 වසරේ දී දෙසැම්බර් මස 16 වැනි දින ඔහුට මරණ දඬුවම නියම කර දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු ද නිකුත් කර තිබුණි.  1989 වසරේ නොවැම්බර් 03 දින හෝ ඊට ආසන්න දිනයක දී ඌරුමුත්ත කෙහෙල්වල දී පුද්ගලයකුට පිහි පහරවල් 16 ක් එල්ල කොට අමානුෂික ලෙස ඝාතනය කර තිබුණ මල්ලිකාරච්චිගේ ගුණසේන (34) නමැති සිව්දරු පියෙකි.



‘කොළ කොටි නායකයාට දඬුවම මරණය' යනුවෙන් සඳහන් දැන්වීමක් ඔහුගේ මළ සිරුර අසල දමා ගොස් තිබූ බව නඩු විභාගයේ දී කියැවිණි. එය භීෂණ සමයේ සිදුවූ ඝාතනයක්  ලෙසට හුවා දැක්වීමට උත්සාහ කළ ද එය පුද්ගලික අමනාපයක් මත සිදුකර තිඛෙන බව පොලිසිය කියයි.  මරණ දඬුවම නියම වූ සැකකරු සැකපිට අත්අඩංගුවට ගන්නා ලෙසට මාතර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි චන්දන හේරත් මහතා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජේ.ඒ. සමන් මහතාට උපදෙස් දී තිබූ අතර ඔහුගේ අධීක්ෂණය යටතේ දීර්ඝ විමර්ශනයකින් පසු පොලිස් සැරයන් 18747 වජිර කුරුප්පු මහතා ඒ පිළිබඳව සාර්ථක තොරතුරක් සොයා ගැනීමට සමත්වී ඇත.


ඒ අනුව සිය ස්වරූපය වෙනස් කරගෙන සැඟවී සිටි සැකකරු හඳුනාශණින අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමට හැකි විය.  ඝාතනය සිදුකර වසර 31 කට පසුව ද මරණ දඬුවම නියම කර විවෘත වරෙන්තු නිකුත් වී වසර 24 කට පසුව ද අත්අඩංගුවට ගත් 61 හැවිරිදි සැකකරු දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ (09) මාතර මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


 -ක්‍රිෂාන් ජීවක ජයරුක්-