ටී.බී. ඒකනායක හිටපු අමාත්‍යවරයා මිය යාමට පෙර ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක නර්තන තරගයක සුපිරි තරුවක් බවට පත් වූ පුද්ගලයකු රවටා රුපියල් ලක්ෂ විස්සකට අධික මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් තිදෙනකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
 
හොරණ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව පරික්‍ෂණ මෙහෙයවා සති දෙකක කාලයකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සමත් වූහ.

මෙම සිද්ධියේ පැමිණිලිකරු මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් පසුගිය කාලයේදී පවත්වනු ලැබූ නර්තන තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගෙන සුපිරි තරුවක් බවට පත් වූ දිවයිනේ දෂතම නර්තන ශිල්පියෙකි. එම නර්තන ශිල්පියාට ඉකුත් 24 වැනිදා දුරකතනයකින් ඇමතූ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු ලෙස හඳුන්වා ගත් පුද්ගලයකු එම මාසයේම 27 වැනිදා පැවැත්වීමට නියමිත ඒකනායක මහතාගේ දියණියගේ උපන්දින සාදයකදී ඇය සමග නර්තනයෙහි යෙදීමට ඒකනායක මහතාගේ උපදෙස් අනුව ආරාධනා කරන බව පවසා ඇත.


මේ ඇමතුමෙන් පසුව එම උපන්දින සාදයට නර්තන ශිල්පියාගේ සහභාගිත්වය සඳහා දිනයක් වෙන් කරගත් ලේකම්වරයා ලෙස පෙනී සිටි පුද්ගලයා ඒ සඳහා ඒකනායක මහතාගේ නිවෙස පිහිටි මහවට යාම සඳහා 26 වැනිදා කුරුණෑගලට පැමිණෙන ලෙස නර්තන ශිල්පියාට දැනුම් දී ඇත.

රාත්‍රියේ පැවැත්වීමට නියමිත උපන්දින සාදයට පෙර ඒකනායක මහතාගේ දියණිය සමඟ නර්තනය සඳහා පෙර පුහුණුවක් සිදු කළ යුතු බැවින්, ඊට පෙර දිනයේ කුරුණෑගලට අනිවාර්යයෙන්ම පැමිණෙන ලෙස ලේකම්වරයා ලෙස හඳුන්වාගත් තැනැත්තාගේ දැන්වීමක් අනුව නර්තන ශිල්පියා තම හිතවත් සහාය නර්තන ශිල්පියකු ද සමඟ ඉකුත් 26 වැනිදා පස්වරුවේ තම වාහනයකින් කුරුණෑගල නගරයට පැමිණ ඇත.

කුරුණෑගලදී ඔවුන් දෙදෙනා පිළිගත් ලේකම්වරයා බව කියූ පුද්ගලයාත් තවත් අයකුත් පසු දින ඒකනායක මහතාගේ නිවස පිහිටි මහව බලා යාමට පෙර එදින රාත්‍රියේ නවාතැන් ගැනීමට කුරුණෑගල වැව රවුමේ පිහිටි නවාතැන්පොළකට ඔවුන් දෙදෙනා රැගෙන ගොස් තිබේ.

එහිදී නර්තන ශිල්පියාට සහ ඔහුගේ සහායකයාට මත්ද්‍රව්‍යයක් සහිත බීමක් පානයට දී දෙදෙනාම සිහිසුන් කළ ඒකනායක මහතාගේ ලේකම්වරයා ලෙස පෙනී සිටි පුද්ගලයා සහ ඔහුගේ හිතවතා ඔවුන් දෙදෙනා පැලඳ සිටි රුපියල් ලක්‍ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සමග රුපියල් දෙලක්ෂ හැටපන්දහසක මුදලක් ද කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මීට අමතරව නර්තන ශිල්පියා උපන්දින සාදයේ නරතනය සඳහාම මිස්ලදීගෙන තිබූ පාවහන් ජෝඩුවක් සමඟ ඔවුන් හැඳ සිටි කලිසම් සහ මුදල් පසුම්බි, ගමන් මලු පවා පැහැරගෙන පලාගොස් ඇති බව ද පොලිසිය කියයි.

නර්තන ශිල්පියාගෙන් පැහැරගෙන තිබූ ඇතැම් රන් භාණ්ඩ ඔහු විවිධ නර්තන තරග ජයග්‍රහණවලින් උපයාගත් ඒවා බව ද කියයි. සිහිය ලැබෙන විට ඔවුන් දෙදෙනාගේම ඇඳුම් ගලවා නිරුවත් කර සිටි බව ද පැවැසේ.

මත්ද්‍රව්‍ය සහිත බීම පානය කර නිද්‍රාශීලි තත්වයට පත්වූ ඔවුන් දෙදෙනාට පියවි සිහිය ලැබී ඇත්තේ පසු දින උදෑසනය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන ලෙසත් එසේ කළහොත් ඇඳුම් ගලවා නිරුවත් කර ලබාගන්නා ලද දෙදෙනාගේම වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධ කර අපහාසයකට ලක්කරන බවටත් තර්ජනාත්මකව සඳහන් කළ ලිපියක් ද සැකකරුවන් එම හෝටල් කාමරයේ දමා ගොස් තිබියදී පොලිසියට හමුවී ඇත. ඔවුන් දෙදෙනාගේ පැමිණිල්ලකට අනුව කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සැකකරුවන් පැමිණිලිකරුවන් දෙදෙනා ද සමඟ කුරුණෑගල නගරයේ ගමන් කළ ස්ථානවලින් ලබාගත් සීසීටීවී දර්ශන සහ දුරකතන ඇමතුම් වාර්තා ඔස්සේ පරික්‍ෂණ මෙහෙයවා මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ඒකනායක මහතාගේ ලේකම්වරයා ලෙස පෙනී සිටී පුද්ගලයාත් ඔහුගේ සහායකයාත් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරුවන් දෙදෙනා සමග මෙය
සඳහා සහාය වූ බව කියන කාන්තාවන් තිදෙනකු ද සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. ඔවුන්ගෙන් ද ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු මෙම පිරිස සමඟ එක්ව දිවයින පුරා සිදු කර තිබූ මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකිව තිබූ තවත් අපරාධ කිහිපයකම තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි.

මානසික රෝගීන්ට නින්ද යාම සඳහා ලබාදෙන ඖෂධ වර්ගයක් සමඟ හෙරොයින් මත්කුඩු කළවම් කර විවිධ බීම වර්ගවලට මුසු කර ලබාදී සිහිසුන් කර සැකකරුවන් විසින් මෙම කොල්ලකෑම් සිදු කර ඇති බව ද පොලිසිය කියයි.

එසේම යොදාගෙන තිබූ හෙරොයින් සහ මත්පෙති තොගයක් ද ප්‍රධාන සැකකරුගේ නිවෙසේ තිබී පොලිසියට හමුවී ඇත. ප්‍රධාන සැකකරු කුඹුක්ගටේ පදිංචිකරුවකු වන අතර ඔහුගේ සහායකයා සහ සැකකාර කාන්තාවන් තිදෙනාම ජාඇල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගෙන සිටින එක් කාන්තාවක ප්‍රධාන සැකකරුගේ බිරිද වන අතර තවත් කාන්තාවක සහායකයාගේ හිතවත් විවාහක කාන්තාවක් බව ද පැවැසේ. සැකකාරියන් දෙදෙනකු මව සහ දියණිය බව ද පොලිසිය කියයි. මෙම කාන්තාවන් තිදෙනාම අනාවරණය කරගත් අපරාධ සියල්ලම සඳහා සහාය වී ඇති බව ද ඒකනායක මහතාගේ දියණිය ලෙස පෙනී සිටීමින් එක් සැකකාරියක නර්තන ශිල්පියාට දුරකතනයකින් කතා කර ඇති බව ද හෙළිවී තිබේ.

නර්තන ශිල්පියාගෙන් සහ ඔහුගේ සහායකයාගෙන් කොල්ලකා තිබූ රන් භාණ්ඩ කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබෙන අතර ප්‍රධාන සැකකරුගේ සොයුරියට ලබා දී තිබූ රුපියල් තුන්ලක්‍ෂ හතළිස් පන්දහසක මුදලක් ද සොයාගෙන ඇත.

සැකකරුවන් හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ලේකම්වරයා ලෙස පෙනී සිටීමින් නර්තන ශිල්පියාට ඇමතුම් ලබාදෙන වීට ද ඒකනායක මහතා ඉතා අසාධ්‍ය තත්වයෙන් යුතුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව ද පොලිසිය සඳහන් කළේය. මෙම සැකකරුවන් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් හේවාවසම් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග  යටතේ වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටියි.


- පුෂපකුමාර ජයරත්න -