කෝවිඩ්-19 තත්වය තුළ වෙනත් වසරවලදී මෙන් මෙවර නව වසර උදාව සැමරීමට නොහැකි බවත්, මේ හේතුවෙන් සියලුම උත්සව පවුලේ පිරිස්වලට පමණක් සීමා කරන ලෙසත් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සාප්පු සංකීර්ණවලට හා වෙළෙඳ සැල්වලට යාමේදී අනිවාර්යයෙන්ම නිරෝධායන නීතිරීතිවලට අනුව කටයුතු කරන ලෙසත්, සැණකෙළි හා උත්සව පැවැත්වීමට මෙවර නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
සියලුම ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් කෝවිඩ්-19 පොකුරු අනුපොකුරු නිර්මාණය වීමේ අවදානමක් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. ඔක්තෝබර් 30වැනිදා සිට ඊයේ (14දා) දිනය දක්වා කාලය තුළදී මුඛ ආවරණ නොමැතිව සිටි හා දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 1,390ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, කාර්යාලවල හා ආයතනවල දෑත් සෝදා ගැනීම දුරස්ථභාවය තබා ගැනීම සිදුකළද, ආහාර ගැනීමේදී හවුලේ ආහාර ලබාගැනීම හා භාජන හුවමාරු කර ගැනීම සිදුකරන බවට වාර්තා වන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙවැනි කටයුතු සිදුනොකරන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
- ඉන්දික හේවාවිතාරණ -
0 Comments