සමස්ත අය-වැය විවාදයම වාර්තා කිරීමේ අවස්ථාව අහිමිව සිටි මාධ්‍යවේදීන්ට, නව වසරේ
පාර්ලිමේන්තුව රැස්වන මුල්ම දිනය වන ජනවාරි 5 වැනිදා සිට කොන්දේසි තුනකට යටත්ව පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමට ඊයේ (30දා) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
 

මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳ සභා නායක  දිනේෂ්
ගුණවර්ධන, කාරක සභාවේදී විමසූ අවස්ථාවේදී මෙසේ කොන්දේසි තුනකට යටත්ව එක් මාධ්‍යයකින් එක් මාධ්‍යවේදියකු බැගින් කැඳවීමට එකඟත්වය පළවී ඇත.

වේත්‍රධාරී විසින් මාධ්‍යවේදීන් සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පත් ඇති මාධ්‍යවේදීන් දෙදෙනකුට පමණක් පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමට අවසරය ලබාදෙන බවත්, මාධ්‍ය ආයතන විසින් මාධ්‍යවේදීන්
දෙදෙනකු නම්කර එවිය යුතු වන අතර, ඔවුන් අතුරින් එක් අයකුට පමණක් රැස්වීම් වාර්තා කිරීමට එක්
දිනකදී පැමිණීමට අවසර ලැබෙන බවත් වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු පැවැසීය.

එසේ පැමිණෙන මාධ්‍යවේදියාට පැමිණීමට නොහැකි අවස්ථාවක, නම්කර ඇති අනෙක් මාධ්‍යවේදියාට
පැමිණීමට අවසර ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ගැලරිය, මාධ්‍ය
භෝජනාගාරය සහ මාධ්‍යවේදීන් සඳහා වෙන්කර ඇති කාමරය හැරෙන්නට පාර්ලිමේන්තුවේ වෙනත් කිසිදු ස්ථානයකට යෑමට අවසර නොලැබෙන බවද නරේන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ජේ.ටී. ද සිල්වා