පුරප්පාඩු තිබෙන දෙපාර්තමේන්තු එකොළහකට යොමු කිරීම සඳහන් පසුගිය සැප්තැම්බර් 02වැනිදා රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරින් පනස්දහසක ප්‍රමාණය ඊයේ සිට විවිධ රාජ්‍ය ආයතන වෙත යොමු කරමින් 
සිටින බවත්, මේ නිසා රැකියා පුහුණුවට බඳවා ගත් අතිබහුතරයකට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි.

රජය විසින් ප්‍රකාශයට පත් කළ දෙපාර්තමේන්තුවලට අනුව උපාධිධාරින්ට කැමති දෙපාර්තමේන්තුවලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබූ බවද එම සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය. මේ අනුව උපාධිධාරීන් රැකියා පුහුණුවට අනුයුක්ත කර සිටි සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් උපාධිධාරීන්ගෙන් ඒ පිළිබඳ තොරතුරු පවා ලබාගෙන තිබූ බවත්, එසේ තිබියදී ඊයේ දිනයේදී කඩිමුඩියේ රැකියා පුහුණුවට බඳවා ගත් උපාධිධාරීන් විවිධ අධිකාරීන් හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන වෙත අනුයුක්ත කරමින් සිටින බවත් හෙතෙම පවසා සිටියේය.

උපාධිධාරීන්ගෙන් කිසිදු විමසීමක් නොකර රාජය නිලධාරීන්ගේ හිතුමතේට උපාධිධාරීන් ආයතන වෙත අනුයුක්ත කිරීම නිසා අතිබහුතරයකට තමන් අකමැති ස්ථාන වෙත සේවය කිරීමට සිදුව තිබෙන බවත්, මේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු තිබෙන ස්ථාන ප්‍රකාශයට පත් කර උපාධිධාරින් කැමති ආයතන තෝරගැනීමට අවස්ථාව දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ලේකම්වරයා සඳහන් කර සිටියේය.
- එච්.අයි. තුෂාර -