දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටා ඇති ගබඩා සංකීර්ණයේ විදේශ රටවලින් ගෙන්වා ඇති පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු කිලෝග්‍රෑම් 60,000කට අධික ප්‍රමාණයක් ඊයේ (09දා) දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු නාගරික සෞඛ්‍ය කණ්ඩායම සිදුකළ වැටලීමකදී සොයාගෙන තිබේ.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පොද්ගලික ගබඩා සංකීර්ණයේ සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයෙන් තොරව පාකිස්තානය, ඉන්දියාව, චීනය, ඉරානය ආදී රටවලින්
ගෙන්වන අර්තාපල් අල, සුදුලුනු ලොකු ලූනු ආදි ගබඩා කිරීම අලවි කිරීම සුද්ධ පවිත්‍ර කිරීම සිදුකරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී ඉතා අනාරක්ෂිත ලෙස මෙම ලොකු ලූනු සහ පිටරටින් ගෙන්වන ලද ආහාර ද්‍රව්‍ය පටවන පරිහරණය කරන අයුරු දුටු නගරාධිපතිවරයා එම ව්‍යාපාරිකයන්ට දැඩි ලෙස අවවාද කරන්නට විය.

කෙසේ වෙතත් මෙම ගබඩා සංකීර්ණය පරික්ෂා කිරීමේදී ගබඩා රැසක මෙරටට ගෙන්වා ඇති බවට කිසිඳු ලියකියවිලි සාධකයක් නොමතිව ඇති ආහාර රැසක් සුද්ද පවිත්‍ර කර ඉතා සූක්ෂම ලෙස වෙළද පොළට යැවීමේ ජාවාරමක් හසු කරගැනීමටද හැකි විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ව්‍යාපාරිකයකුට අයත් මෙහි ගබඩාවක් ඉදිරිපිට සහ පසුපස සම්පූර්ණයෙන්ම වසා දමා කාන්තාවන් රැසක් එම ගබඩාව තුළ රදවා ආහාරයට නුසුදුසු පැළවී ඇති ලොකු ලූනු එම පැළ කපා තෝරා ඇසුරුම් කරමින් සිටින අයුරුද අනාවරණය කරගෙන තිබේ.

කොළඹ වරායෙන් රට ඇතුළට ගැනීමෙන් වළක්වා ඉවත් කරන ලොකු ලූනු මෙයාකාරයෙන් ඉතා සූක්ෂම ලෙස ගෙනැවිත් රට පුරා බෙදාහැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව නගරාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.


එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නයේම තවත් ගබඩාවක අලවි කිරීමට නොවේ යැයි දැන්වීම සවිකර පැළ වී කුණු වී ඇති ලොකු ලූනු කිලෝග්‍රෑම් 40,000ක පමණ ප්‍රමාණයක් කාන්තාවන් යොදා ඉතා සූක්ෂම ලෙස ඇසුරුම් කරමින් තිබියදී නාගරික සෞඛ්‍ය අංශය සහ නගරාධිපතිවරයා දඹුල්ල පොලීසිය එක්ව සිදුකළ වැටලීමේදී සොයාගෙන තිබේ.

එමෙන්ම ජාවාරම දිගින් දිගටම සිදුවන බවත් පසුගියදා කැබිනට් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කොට මෙම කණ්ඩායමට දැඩි ලෙස අවවාද කළ බව නගරාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් සෞඛ්‍ය ආරක්ෂිතභාවයකින් තොරව සහ ආහාරයට නුසුදුසු මෙම වෙළදාම් කිරීම ඉදිරියේදී සම්පූර්ණයෙන් නවතා දමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අමාත්‍යවරුන්ගේ කඩිනම් අවධානය යොමුකොට වරායෙන් මෙම ඉවතලන ලූනු සහ අල රට මැදට රැගෙන එන ජාවාරම නවතා දැමීම්මට අවශ්‍ය පියවර ගන්නා බවද නගරාධිපතිවරයා සදහන් කළේය.

රටේම දැඩි ලෙස වෛරස් ආසාදනය වී ඇති අවස්ථාවක ආහාරවලට වැඩි ඉල්ලුමක් ඇති වකවානුවක ඉතා සූක්ෂම ලෙස ආහාරයට නුසුදුසු මිනිස් ජීවිතවලට හානිදායක ආකාරයෙන් මෙම අර්තාපල් අල, ලොකු ලූනු අලෙවි කිරීමේ ජාවාරම මින් ඉදිරියට කරගෙන යාමට ඉඩ ලබා නොදෙන බවද දඹුල්ල නගරසභාවේ නගරාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. පැළවී ඇති ලූනුවල ගොබ කපා ආහාරයට ගැනීම කිසිදු ආකාරයෙන් නොකළයුතු බව දඹුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පැවසීය. නගර සභාව මගින් ජනතා මුදල් වියදම් කොට මෙම මාර්ගවල තනා ඇති පාලම් බෝක්කු මෙම මාර්ග සලකුණු සියල්ල කන්ටේනර් රථවලින් කඩා බිද දමා තිබෙන බවද නගරාධිපතිවරයා මෙම වැටලීමේදී පෙන්වා දුන්නේය. වහාම ක්‍රියාත්මක වන පරිදි රටට සිදුකර ඇති අලාභයන් මෙන්ම අවට පරිසරය අපිරිසිදු කළ සියලු දෙනාටම නඩු පවරන ලෙස නගරාධිපති ජාලිය ඕපාත මහතා දඹුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතාට උපදෙස් ලබා දුන්නේය. වැටලීම සදහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළේ නිලධාරීන්ද නාගරික මන්ත්‍රී සූජීව ජයසිංහ මහතාද එක්ව සිටියහ.

අත්අඩංගුවට ගත් ආහාරයට නුසුදුසු ලොකු ලූනු කිලෝ හැට දහසක් පමණ විනාශ කරන ලෙසද උපදෙස් දුන්නේය.
- එස්. කරුණාරත්න -