මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය නිසා තුවාල ලත් තවත් රැඳවියෙකු මිය ගිය බව වාර්තාවේ.
ඒ අනුව එම ගැටුම හේතුවෙන් මියගිය පිරිස 09ක් දක්වා ඉහළ ගොස් ඇත. රාගම රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ දැනට රෝහල් ගත කර සිටින රැඳවියන් අතරින් තවත් කිහිප දෙනෙකුට අසාධ්‍ය බවයි. මෙම ගැටුම නිසා ඊයේ රාත්‍රියේත් තුවාල කරුවන් රැගෙන ආ බවත් අද පාන්දර 3 ටත් තුවාල කරුවන් රැගෙන ආ බවත් රෝහල් ආරංචි හෙළි කරන අතර
මේ වනවිට තුවාල ලත් පිරිස 113 ක් බව දැක්විණි.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරියගෙන් ඉවත්කරන ලද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ධුරයට ලොහාන් රත්වත්ත මහතා නම් කර ඇති බවද දේශපාලන ආරංචි හෙළි කරයි.
මේ වනවිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන රත්වත්ත මහතා අද දින ජනාධිපතිවරයා ඉදිරියේ එම ධුරයේ දිවුරුම්දීමට නියමිතය.
මහර බන්ධනාගාරයේ කළහහාරි තත්ත්වයෙන් තුවාල ලැබූ 113 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කළ පසුව ඔවුනට පීසීආර් පරීක්ෂණ කරන ලදුව ඒ අතුරින් 35 දෙනෙකුට කොරෝනා ආසාදිත බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය.
ඇතුළත් කළ තුවාල කරුවන්ගෙන් 16 දෙනෙකු බරපතළ තත්ත්වයෙන් පසුවන අතර තවත් 4 දෙනෙකු ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බව ද අධ්‍යක්ෂවරයා පැවසීය. ඒ අනුව මරණ ගණන තවත් ඉහළ යාහැකි බව කියැවිණි.
මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වයෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද වත්තල මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මේ අතර අධිකරණ මගින් ඇප ලබා දුන් බන්ධනාගාර සැකකරුවන් 87 දෙනෙකු අම්පාර
අඩ්ඩාලච්චේනේයි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොරෝනා ආසාදිත රැඳවියන් 187 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම රඳවා ඇති බවයි.
මහර බන්ධනාගාරයේ පෙරේදා (29) සිදුවූ ගැටුම්කාරි තත්වය හමුවේ රැඳවියන් සිදුකළ ගිනිතැබීම් නිසා එහි අවි ගබඩාව හැර අනෙක් සියලු දේපළ ගිනිගෙන විනාශ වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මහර බන්ධනාගාරයේ රෝහල, ආහාර ගබඩාව,  ලේඛනාගාරය, අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ලොන්ඩරිය, සිරකරුවන් ලියාපදිංචි කිරීමේ අංශය, සිර වාට්ටු සහ ප්‍රධානම  ගොඩනැගිලි ඇතුළු දේපළ සියල්ලක්ම සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.  මෙම සිද්ධියෙන් මහර බන්ධනාගාරයට රුපියල් කෝටි 10 කට අධික හානියක් සිදුව ඇති බවත්, බන්ධනාගාර රෝහලේ පමණක් රුපියල් කෝටි දෙකක සමග දේපළ සහ භාණ්ඩ විනාශ වී ඇති බවත් ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ ආහාර ගබඩාවේ තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොග ද ගින්නෙන් විනාශ වී ඇති බවත්, සැකකරුවන් සහ සිරකරුවන්ගේ සියලුම තොරතුරු ඇතුළත් ලිපි ගොනු සහිත ලේඛනාගාරය ද  මුළුමනින්ම දැවී අළුවී ඇති  බවත් බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.  බන්ධනාගාරයේ අධිකාරි කාර්යාලය මෙන්ම, සිරකරුවන්ගේ සිර මැදිරි  සහිත ගොඩනැගිලි ද  සම්පුර්ණයෙන්ම විනාශ වී  ඇති බවත් මෙම දේපළවල වටිනාකම රුපියල් කෝටි ගණනක් වන බවත් එම ආරංචිමාර්ග කියයි.