පසුගිය දිනක ගල්කිස්ස දුම්රිය ස්ථානයේ චීන හා ප්‍රංශ භාෂාවෙන් දුම්රිය කාලසටහන් ප්‍රදර්ශනය වීම පිළිබදව මහත් ආන්දෝලනාත්මක පුවතක් සමාජගත විය. එය සමාජ මාධ්‍ය හරහා මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාද ප්‍රචාරය වී අහවර වූයේ නැත. එය පැමිණිල්ලක් ලෙස රාජ්‍ය භාෂා කොමිසම් සභාවටද ඉදිරිපත් වී තිබිණ. ඒ අනුව එම කොමිසම් සභාව භාෂා විගණනයක් මේ මස 15 වෙනිදා සිදුකර තිබිණ. මෙම සටහන එයත් සමග රාජ්‍ය භාෂාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නැගුණු අවධානය පිළිබඳවය.
1987 - 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988-16වන ව්‍යවස්ථා සංශෝධනය අනුව සිංහල හා දෙමළ භාෂා ද්විත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා බවට පත් කෙරුණු අතර, ඉංග්‍රීසි සන්ධාන භාෂාව ලෙස නම් කෙරිණි.
මේ අනුව මෙරට රාජ්‍ය ආයතනවල ලිපි ලේඛන, පෝරම පමණක් නොව, දැන්වීම් පවා භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශනය වන්නට විය. එසේම සිංහල නොදත් ද්‍රවිඩ පුරවැසියාටත්, දෙමළ නොදත් සිංහල පුරවැසියාටත් තමන්ගේ භාෂාවට අනුව වැඩකටයුතු කරගෙන යාමට හැකියාව ලැබිණි.
"ගල්කිස්ස දුම්රිය ස්ථානය කියන්නේ කෝවිඩ් 19 වසංගතයට පෙර විදේශ සංචාරකයන් දෛනිකව 500-1000ත් අතර පිරිසක් භාවිත කළ දුම්රිය ස්ථානයක්. ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් දුර ගමන් දුම්රිය අතරින් යාපනය දක්වා ගමන් කරන දුම්රිය ගමන් ආරම්භ කරනු ලැබුවා. මේත් එක්ක සංචාරකයන් බහුලව ගැවසන දුම්රිය ස්ථානයක් බවට ගල්කිස්ස දුම්රිය ස්ථානය පත්වෙලයි තිබුණේ. අපි කවුරුත් දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ ලාභ ලබන ආයතනයක් නොවෙයි. මේ නිසාම දුම්රිය ස්ථානවල ඇතැම් නඩත්තු කටයුතු අපි පෞද්ගලික අංශයේ සහය ඇතිව සිදුකරනු ලබනවා. සංචාරකයන් බහුලව ගැවසෙන ගල්කිසදුම්රිය ස්ථානයේ සංචාරකයන්ට වගේම මගීන්ට විවිධ හිරිහැර සිදුවී තිබුණා. මේ ගැන අවධානය යොමු කරලා එවක සිටි දුම්රිය ස්ථානාධිපතිවරයා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටල්වලින් අනුග්‍රාහකත්වය අරගන මගීන් ආරක්ෂාව සදහා යම් වැඩපිළිවෙළක් සිදුකර තිබුනා. ඒ අනුව 2015 වර්ෂයේ ජාත්‍යන්තර කාන්තා දිනය මූලික කරගෙන ශ්‍රමදානයක් සිදුකරලා දුම්රියපොල් වැසිකිළි, කැසිකිළි පහසුකම් නවීකරණය කරලා, ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම වගේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. අපේ රටට වැඩි වශයෙන් සංචාරයට එන චීන, ජර්මන්, ප්‍රංශ සංචාරකයන්ගේ පොදු ලක්ෂණයක් තමයි ඔවුන්ට ඉංග්‍රීසි භාෂා දැනුම මදිකම. මේ නිසාම තමයි සංචාරක ආකර්ෂණය වෙනුවෙන් හා සංචාරකයන්ගේ පහසුව ගැන හිතලා ගල්කිස්ස හෝටලය අනුග්‍රහයෙන්, චීන හා ප්‍රංශ භාෂාවෙන් අතිරේක දුම්රිය කාලසටහනක් මුද්‍රණය කරලා සවිකර තිබුණේ. ඇත්තටම මේ පුවරුව 2015 වර්ෂයේ සිට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සවිකර තිබුණා. එය මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය කාලසටහන් ප්‍රදර්ශනය කළ එකම පුවරුව නොවෙයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව අපි භාෂා ත්‍රිත්වයෙන්ම රිය ගමන් පිළිබදව නිවේදන පවා සිදුකරනවා.
2015 සිට ප්‍රදර්ශනය කළ දැන්වීමක් එක්වරම පහුගිය දින කීපයේ ආන්දෝලනාත්මක වීම පිළිබදව අපිට තිබෙන්නේ පුදුමයක්. මේ පිටුපස යම් දේශපාලනමය මැදිහත් වීමක් තිබෙන බව සමාජ මාධ්‍ය හරහා පළවුණු දේවල් දැක්කම පෙනී යනවා. කොහොම නමුත් මේ වෙද්දී රාජ්‍ය භාෂා කොමිසම් සභාව විගණනයක් සිදුකර අපිට නිර්දේශ ලබා දී තිබෙනවා.
අවසානයේ අපේ රාජ්‍ය භාෂාවන්ගෙන් ප්‍රදර්ශනය වූ දැන්වීම්වල පැවැති සුළු වැරදි නිවැරදි කරන්නත් ඒ හරහා අපිට උපදෙස් ලැබුණි.
ඇත්තටම අපි විදේශයක සංචාරය කරද්දී සිංහලෙන් යමක් ලියලා තියෙනවා දැක්කොත් කොතරම් සතුටු වෙනවාද? ඒ වගේ දෙයක් තමයි මෙහිදී සිදුවුනේ. ලංකාවට සංචාරකයන් ආකර්ෂණිය කරගන්න යමක් කරනවා නම් මීට වඩා පුළුල්ව හිතන්න ඕන. ලාභ නොලබන ආයතනයක් පෞද්ගලික අංශයේ අනුග්‍රහය ඇතිව කරගෙන ගිය කටයුතු මේ වගේ බොරු පැමිණිලි හා අනවශ්‍ය චෝදනා නිසා අඩාළ වෙන එකයි මෙවැනි දේවල් වලින් සිදුවෙන්නේ. රාජ්‍ය භාෂා කොමිසමේ නිර්දේශ මත ඉදිරියේදී මේ සම්බන්ධ කටයුතු සිදුකිරීමට නියමිතයි."
වෙනත් භාෂාවකින් පුවරු ප්‍රදර්ශනයට නීතියෙන් අවසරයක් ලංකාවේ නීතිය අනුව නොමතිද? මේ පිළිබඳව රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ ඩී. කලංසූරිය මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.
"දුම්රිය ස්ථානයක ජනතාවගේ දැනගැනීම පිණිස පුවරු සවි කිරීම හා නිවේදන නිකුත් කිරීම සිදුකරනු ලබනවා. එය අනිවාර්යයෙන්ම රාජ්‍යය භාෂා ප්‍රතිපත්තියට අනුව සිදුවිය යුතුයි. මේ ගල්කිස්ස සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල පිළිබඳ භාෂා විගණනය සිදුකරද්දී අපි දැක්කා ඒ කටයුතු නියමාකාරයෙන් සිදුවන බව. ඒ අනුව අපි දැක්කේ මෙය විශේෂ සිද්ධියක් ලෙසයි. ගල්කිස්ස හෝටලයට විශාල වශයෙන් පැමිණියේ චීන හා ප්‍රංශ සංචාරකයන්. ඉතින් මොවුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයේ තිබෙන අපහසුතාවන් නිසා තමයි මේ පුවරුව ඔවුන්ගේ අනුග්‍රහය අතිව සවිකර තිබුණේ. ඒ අනුව මෙයින් සංචාරකය ප්‍රවර්ධනය කිරීමක් තමයි සිදුකර තිබෙන්නේ. ඒ හැර මෙම ස්ථානයේ රාජ්‍ය භාෂා තුනෙන්ම අපි දැක්වීම් පළකර තිබුණා. ඒ අනුව මම නිර්දේශ කළා කිසියම් අයෙකුට මේ පුවරුව සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ නම් එය විසදා ගැනීම සදහා මේ පුවරුව සවිකිරීමට හේතුව සඳහන් කර සටහනක් රාජ්‍ය භාෂා ත්‍රිත්වයෙන් යොදන ලෙසට. අපිට භාෂා ප්‍රතිපත්තිය රැකෙන්නත් ඕන, සංචාරක ක්ෂේත්‍රය පවත්වාගෙන යන්නෙත් ඕන කියන තැන මම ඉන්නවා. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය ආයතනයක, රාජ්‍ය ප්‍රවාහන මාධ්‍යයක අනිවාර්යයෙන් භාෂා ත්‍රිත්වයෙන්ම අදාළ දැන්වීම් හා ජනතාව දැනුම්වත් කරන පුවරු ප්‍රදර්ශනය විය යුතුයි. අපේ ආයතනයෙන් සිදුකරන්නේ ඒ ප්‍රතිපත්තිය හරිහැටි ක්‍රියාත්මක කරනවාද යන්න සොයා බලන එක. ඒ හැර පෞද්ගලික ආයතනවල මේ කටයුතු සිදු නොවෙන්න පුළුවන්. අපි බැලුවොත් කොරියානු රෙස්ටෝරන්ට් එකක කොරියානු භාෂාවෙන් මේ කටයුතු කරන්න පුළුවන්.
අපිට ඒවා පාලනය කරන්න බැහැ. අපේ රටේ විවිධ ඉදිකිරීම් වෙනත් රටවලින් සිදුකරන්න පුළුවන්. ඔවුන් ඒ කටයුතු සිදුකරද්දී ඔවුන්ගේ භාෂාවෙන් පුවරු ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඔවුන් එය රජයට භාරදුන් පසුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව ත්‍රෛභාෂාවන්ගෙන් අදාළ පුවරු සවි කළ යුතුයි. අපි බැලුවොත් ගල්කිස්ස සිද්ධියත් එක්කම අවධානය යොමු වූ සිද්ධියක් තමයි ගුවන් මගීන්ට තමන්ගේ විස්තර සටහන් කරත්ත චීන හා ඉංග්‍රීසි භාෂාවෙන් යුතු පත්‍රිකාවක් ලබා දීමේ සිද්ධිය. මෙයත් මා විසින් විභාග කරන ලද්දක්. ඒ අනුව දැනගත්ත දේ තමයි කෝවිඩ් වෛරසය පැතිර යාමත් සමග අපේ රටේ ගුවන් ගමන් සදහා වැඩි වශයෙන් පැමිණ තිබුණේ චීන ජාතිකයන්. ඔවුන්ගේ පහසුව සදහා තමයි මෙය නිකුත් කර තිබුණේ. නමුත් මෙය නිකුත් කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. ඒ අනුව මම එම අමාත්‍යාංශයට කතා කරලා මෙය නිවැරදි කරන්න නිර්දේශ යැව්වා. ඒ අනුව දැන් මේ පෝරමය ත්‍රෛභාෂාවෙන් සකස්කර අවසන් අදියරේ තිබෙනවා.
ඇත්තටම මෙකී කාරණා එකවර පැන නැග්ගේ චීන භාෂාව ලංකාවේ රාජා භාෂාවක්ද කියන ප්‍රශ්නයත් එක්ක ඈඳලයි. මේ සිද්ධි දෙකේම තිබුණේ අවස්ථාව අනුව ප්‍රායෝගික ප්‍රශ්න දෙකක්. අපේ ආයතනය මේ සිද්ධිවලදී මැදිහත් වෙලා ඒවා නිවැරදි කරන්න අවශ්‍ය මගපෙන්වීම ලබා දුන්නො. ඊට භාෂා ප්‍රතිපත්තිය ගැන රටේ සියලුම පුරවැසියන් දැනගෙන සිටිය යුතුයි. අපි ඒ වෙනුවෙන් පාසල් සිසුන් දැනුම්වත් කිරීම සිදුකරනවා. ඒ වගේම තමයි රාජ්‍ය ආයතනවල නිලධාරින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න දැනුවත් විය යුතුයි. ඒ අනුව අපි රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම් කරනවා, රටක පුරවැසියන්ට ඇඳුම්, ආහාර,බේත්හේත් කියන මූලික අවශ්‍යතාවලදී දැනුවත් වන්නට අනිවාර්යෙන් භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් අපිට පෞද්ගලික ආයතනවලට බලකරන්න බැහැ. මේ නිසා ඒ සදහා බලය තිබෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ සහාය අපිට අවශ්‍ය වෙනවා. ඒ අනුව ලේබල්කරණය යටතේ තිබෙන නීති ප්‍රකාරව ත්‍රෛහාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලීමක් කළා.
මෙහිදී ඉතා කුඩා ඇසුරුම් සම්බන්ධව භාෂා තුනකින් සටහන් තැබීමට අපහසුතා පැන නගිනවා. ඒ සදහා පත්‍රිකාවක් ලෙස අදාළ කරුණු සටහන් කරන්න පුළුවන්. මේ දිනවල සැනිටයිසර් බෝතල්වල උපදෙස් ත්‍රෛහාෂාවන්ගෙන් දකින්නට නැති බව පේනවා. ඒ නිසාම අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ අංශවලින් ඉල්ලීමක් කර තිබෙනවා.”
- නදීශානි පතිරණ -
0 Comments