covid 19 වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා හම්බන්තොටදී ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු සමග උදේ ආහාරය ගෙන ඇති අතර එම දේශපාලනඥයා ස්වයං නිරෝධායනයට ලක් වී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය තුළ කථාබහක් නිර්මාණය වුවද අදාළ දේශපාලකගේ නම සඳහන් කර නැත.


ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට සහ ප්‍රධාන පෙළේ දේශපාලනඥයාට අමතරව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද ඔවුන් සමග උදේ ආහාරයට සහභාගි වී ඇතැයි ද පැවැසේ.

හම්බන්තොට උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉකුත් 28 වැනිදා පැවැති වැඩමුළුවකට ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා සහභාගි වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයකු බවට ඊට පසුදින තහවුරු වී ඇත.

මේ අතර එම වැඩමුළුවට සහභාගි වූ රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 - රංජන් කස්තුරි -