ඉරිදා දිනයේ දේව මෙහෙයන් සඳහා පල්ලිවලට නොයන ලෙස දන්වමින් හා පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට කඳාන ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසකට ජංගම දුරකතනයෙන් කෙටි පණිවිඩ යැවූ පෞද්ගලික සමාගමක ගණකාධිකාරීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
සැකකරු ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයකු බව ද ඔහු සඳහන් කළේය.
ඉරිදා දේව මෙහෙයන් සඳහා ඊයේ (20) දින සහභාගි නොවන ලෙසට ඔහු විසින් මෙම පණිවිඩය කිහිපදෙනකුට පෙරේදා යවනු ලැබ ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.
විවිධ පුද්ගලයගේ ජංගම දුරකතනයට වට්ස්ඇප්, වයිබර් සහ කෙටි පණිවිඩ මගින් මේ ආකාරයේ ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් සොයා නොබලා තවත් කෙනකු වෙත බෙදාහැරීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව අජිත් රෝහණ මහතා කීය.
මෙවැනි අසත්‍ය කෙටි පණිවිඩ යවන පුද්ගලයන්ට මෙන්ම ඒවා සොයා නොබලා තවත් අයට බෙදාහරින පුද්ගලයන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවැසීය.
(ඉන්දිකා රාමනායක)
0 Comments