කොරෝනා වැළඳුණු ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහභාගි වූ තලවකැලේ නගර සංවර්ධන රැස්වීමට පැමිණ සිටි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක,වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස හා මරුදපාණ්ඩි රමේශ්වරන් යන මහත්වරුන් ද නිවෙස් නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැමිණි රැස්වීමකට සහභාගි වීම නිසා තමා ද මේ දිනවල හුදෙකලාව සිටින බව හිටපු අමාත්‍ය හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය.
මෙයට අමතරව ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ගිය රැස්වීම්වලට සහභාගි වූයේ යැයි කියන තලවකැලේ ළිඳුල නගරාධිපතිවරයා ද නුවරඑළිය, කොටගල, අඹගමුව, නෝර්වුඩ් හා මස්කෙළිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ද තලවකැලේ ළිඳුල නගර සභාවේ ලේකම්වරයා ද එහි සේවකයන් 10 දෙනකු හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකු ද ස්වයං නිරෝධායනයට යොමු කර සිටින බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. ගනේෂ් මහතා ප්‍රකාශ කළේය. කොරෝනා ආසාදනය වූ ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රදේශයේ රැස්වීම් කිහිපයකට මෙලෙස සහභාගි වී ඇත්තේ නිරෝධායනය වෙමින් සිටියදී යැයි කියති. ඔහු මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ ඉකුත් 17 වැනිදා පැවැති රජයේ උත්සවයකට ද සහභාගි වී ඇති අතර නිරෝධායනයට යොමු කෙරුණු ප්‍රාදේශීය සභා සභාපතිවරු ද එම රැස්වීමට සහභාගිවූවෝ වෙති.
අමාත්‍ය සී.බී. රත්නායක මහතා තලවකැලේ නගර සංවර්ධන රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදී ආගරපතන සභාපතිවරයා ඔහු අසලට පැමිණ ලියකියවිලි කිහිපයකට ද අත්සන් ලබාගෙන ඇතැයි දැනගන්නට ඇත. මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස මෙසේ නිවෙස් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටින්නේ සෞඛ්‍ය අංශ ප්‍රධානීගේ උපදෙස් අනුවය. වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කොටගල ලංකා කම්කරු කොන්ගස් මූලස්ථානයේ පිහිටි ඔහුගේ නිවසේදී ස්වයං නිරෝධායනයට යොමු කළ බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා පැවැසීය.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ජීවන් තොණ්ඩමන් මහතා මෙසේ ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබ ඇත. තොණ්ඩමන් මහතා පී.සී.ආර්. පරික්ෂණයකට ද ඉදිරියේදි යොමු කිරිමට නියමිතය. කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ ආගරපතන සභාපති කදිරි සෙල්වම් මහතා මේ මස 17, 18, 19 යන තෙදිනේදී ජීවන් තොණ්ඩමන් මහතාගේ ළගම ආශ්‍රිතයකු වී ඇතැයි සෞඛ්‍ය අංශ මේ වනවිට තහවුරු කරගෙන ඇත. ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා හම්බන්තොට ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනු ලැබ සිටියි.
-සුජිත් හේවාජුලිගේ -
0 Comments