2019 වසරේ පැවති අ.පො.ස. උ/පෙළ විභාගයේ ප්‍රතිඵල මත සිසුන් සරසව් වලට බඳවා ගැනීමට අදාළ කඩයිම් ලකුණු පසුගිය ඔක්තෝබර් මස 26 වන වන දා අන්තර්ජාලයට නිකුත් කෙරුණි.එම කඩයිම් ලකුණු වලට අදාලව සරසවි වලට සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු නොවැම්බර් මස 24 වන දින ඇරඹූ අතර මේ වන විට අති මහත් බහුතරයක් සිසුන් තමා තේරී පත්වී ඇති පාඨමාලාව සඳහා ලියාපදිංචිවීම අවසන් කර ඇත .
2019 වසරේ අ.පො.ස. උ/පෙළ විභාගය "නව" හා "පැරණි" ලෙස විෂය නිර්දේශ දෙකක් යටතේ පැවති අතර 2011 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුවට අනුව යමින් විභාග දෙපාර්තමේන්තුව නව නිර්දේශයේ හා පැරණි නිර්දේශයේ

සිසුන් වෙන වෙනම කාණ්ඩ ගත කර ප්‍රතිඵල නිකුත් කරන ලදී.මෙම ප්‍රතිඵල වලට අදාලව සරසවි වලට සිසුන් බදවා ගැනීමේ ක්‍රමවේදය 2019 වසරේ අ.පො.ස උ/පෙළ විභාගය පැවැත්වීමට පෙර එනම් 2019 අප්‍රෙල් මස 8 වනදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කළ අතර බඳවා ගැනීම් සිදු කර ඇත්තේ ද එම නිවේදනයේ දක්වා තිබූ ආකාරයට ය . එම අවස්ථාවේදී එම ක්‍රමවේදය අභියෝගයට ලක් කිරීමක් හෝ එයට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවුනි. එලෙසම එම අවස්ථාවේදී මෙම බඳවා ගැනීමේ ක්‍රමවේදයට එරෙහිව විද්වත් අදහස් පළවී තිබුණේ ද නැත. 

නමුත් අදාළ ක්‍රමවේදය අනුගමනය කරමින් ඉතා නීත්‍යනුකූලව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සරසවි වලට සිසුන් තෝරා ගෙන සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරමින් පවතින මෙවැනි අවස්ථාවක අදාළ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් එම ක්‍රමවේදය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ගොනු කර ඇත. එලෙස පෙත්සම් ගොනුකර ඇති ඇතැම් පාර්ශවයන් මෙම ගැටළුවට පිළියම් ලෙස බඳවා ගැනීමේ
ක්‍රමවේදය සංශෝධනය කිරීමට ඉදිරිපත් කර ඇති ඇතැම් යෝජනා මගින් සරසවි ප්‍රවේශය ලද විශාල සිසුන් ප්‍රමාණයකට තම ප්‍රවේශ පාඨමාලා අහිමි වී යනු ඇත. එමෙන්ම මේ වන විට අති බහුතරයක් සිසුන් කඩයිම් ලකුණු මගින් තමන් තේරී පත්වූ පාඨමාලාවට ලියා පදිංචි වී අවසන්ය.

තවද 2019 වසරේ අගෝස්තු මස අපො.ස උසස් පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් විභාගය පවත්වා වසරකුත් සිව් මාසයක් ගතවන තුරුම තවමත් සරසවි තුළට ඇතුළත් කරගෙන නොමැත.වෛද්‍ය විද්‍යාව,
දන්ත වෛද්‍ය විද්‍යාව,පශු වෛද්‍ය විද්‍යා වැනි පාඨමාලා හදාරන ඕනෑම සිසුවෙකුට තම අධ්‍යයන පාඨමාලාව අවසන් කිරීමට අවම වශයෙන් වසර හයකට ආසන්න කාලයක් ගතවේ. ඔවුන් තවදුරටත් සරසවි වලට බඳවා ගැනීම ප්‍රමාද වීමෙන් ඔවුන්ගේ ජීවිතයේ වටිනාම කාලය නිකරුණේ ගෙවා දැමීමට සිදුවීම ඛේදනීය වේ.

 ඉතා සුළු පිරිසකගේ අවශ්‍යතාවයන් මුදුන්පත් කර ගැනීමේ අරමුණින් කරගෙන යනු ලබන ඇතැම් ක්‍රියාකාරකම් නිසා විශිෂ්ට ප්‍රතිඵල ලබා සරසවි ප්‍රවේශය ලද හතලිස් දෙදහසකට ආසන්න සිසුන් පිරිසකගේ වටිනා කාලය තවදුරටත් අපතේ යාම ඉතා කණගාටුදායක තත්ත්වයකි. එබැවින් මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ විශිටයින් වසර දහතුනකට අධික කාලයක් තම සිහිනය වෙනුවෙන් සිදු කල කැප කිරීම් සහ ඔවුන්ගේ වටිනා කාලය අපතේ නොහරින මෙන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.එලෙසම පාඨමාලා සඳහා ලියාපදිංචි වීම සම්පුර්ණ කර ඇති සිසුන්ගේ ප්‍රවේශ අවස්තාවන් අහිමි නොවන ලෙස තවත් එක් සිසුවෙකුට හෝ තව දුරටත් අවස්ථාවක් ලබා දිය හැකි නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ වෙනුවෙන් ගන්නා තීරණ වැදගත්ය.