වේදිකාවෙන් රංගනයට අත්පොත් තබා පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් රංගන
ශිල්පියෙක්ගේ තොරතුරු බෙදාගන්නයි හදගැස්මේ අපේ සූදානම. ජාතික තරුණ සේවා සභාවෙන් හැදෑරීම්
කර පසුකාලීනව කලාවේ විවිධ ඉසව් ස්පර්ශ කිරීමට සමත් වූ ඔහු ටෙලි නාට්‍ය කිහිපයක වෙනස් චරිත
හරහා මේ දිනවල ඔබේ නිවසට ගොඩවදින රංගන ශිල්පී ආලෝක සම්පත්.
කොහොමද ආලෝක ජීවිතේ?
කොරෝනාත් එක්ක බොහොම සෞඛ්‍යාරක්ෂිතව වැඩ ටික කරගෙන යනවා ඉතින්.
කලා කටයුතු කොහොමද?
ටෙලි නාට්‍ය තුනක් මේ වෙනකොට විකාශය වෙනවා. ඒ අතරින් ස්වාධීන රූපවාහිනියෙ ඉන්ටර්නැසනල්,
ස්වර්ණවාහිනියෙ සිහින සමාගම සහ දෙරණ ටීවී එකේ ධරණි කියන ටෙලි නාට්‍යවල රූපගත කිරීම්
සිදුවෙනවා. වේදිකා නාට්‍ය නම් මේ දවස්වල කෙරෙන්නෙ නැහැ.
ඉන්ටර්නැසනල් එකේ සිලිකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං රඟපාපු චරිත අතරින් ප්‍රෙක්ෂකයා අතරට වැඩිපුරම ගිය
වෙනස් හැඩයක් ගත්ත චරිතයක්. මටත් සමීපව දැනෙන චරිතයක් නිසා ගොඩක් කැමැත්තෙන් මං රඟපෑවා.
සිහින සමාගමේ ගනේෂ් ගැනත් කතා කරමු.
ඔව්. ඒකත් හරිම වෙනස් චරිතයක්. ගමේ ඉඳන් කොළඹ ආපු දමිළ තරුණයෙක් විදියට ඉස්සරහට ලොකු
වෙනස්කම් එක්ක කතාව තුළ මගෙ චරිතය ගලාගෙන යනවා.
පාසල් කාලය ගෙවුණෙ කොහොමද?
මගෙ ගම කන්තලේ. පාසල් ගියේ අග්‍රබෝධි විද්‍යාලයට. උපනන්ද වැලිකල කියන නාට්‍ය ගුරුවරයා
යටතේ පාසල් අවධියෙත් වේදිකා නාට්‍ය නිර්මාණය කරලා සමස්ත ලංකා ජයග්‍රහණ දක්වාම
ඇගයීම්වලටත් ලක්වුණා. පසලේදි තමයි මම රංගනයට හැකියාවක් තියෙනවා කියල දැනගත්තෙ. ඉතින්
රංගනය හදාරන්න අවශ්‍යතාව දැනුණ නිසා ජාතික තරුණ සේවා සභාවෙ නාට්‍ය පාසලට මං සම්බන්ධ
වුණා. ඒ අවධියේ රඟපාපු සහ මම නිර්මාණය කරපු නාට්‍ය හරහා යෞවන සම්මාන සහ රජ්‍ය සම්මාන
ලබාගන්නත් මට හැකියාව ලැබුණා.
ඔබේ කලා ජීවිතයට තරුණ සේවා සභාවෙන් ලැබුණු පන්නරය කොයි ආකාරයෙන්ද බලපෑවෙ?
ඇත්තටම ඒ අවධියේ එච්. ඒ. පෙරේරා, බන්දුල ජයවර්ධන, ජයලත් මනෝරත්න වැනි විශිෂ්ට ගුරුවරුන්
යටතේ ලබපු අධ්‍යාපන සහ පුහුණුව තමයි මේ දක්වාම ක්ෂේත්රයේ රැඳී ඉන්න පිටිවහලක් වුණේ.
වේදිකාවෙන් ටෙලි නාට්‍යවලට ආගමනය සිදුවුණු ආකාරය සිහිපත් කරමු
ඇත්තටම මගෙ මුල්ම ටෙලි නාට්‍යය වන කේතුමතී දැන් තමයි විකාශය වෙන්නෙ. එය අධ්‍යක්ෂණය කළේ
විමල් දේශප්‍රිය. වීදි නාට්‍යවල සම්පත් ජයවීර සමඟ වැඩ කරපු කාලෙ ඔහු තමයි මාව මුලින්ම ටෙලි
නාට්‍යයක් කරන්න එක්ක ගෙන යන්නේ. මම තරුණ අවධියේ තමයි ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවෙ. ඉතින්
පෙනුම, හඬ ගොඩක් වෙනස්. පසුව වෙළෙඳ දැන්වීමකදී කුමාර තිරිමාදුර මුණගැහීමත් එක්ක ඔහුගේ
මැදිහත්වීමෙන් මට ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරපු පබා ටෙලි නාට්‍යයේ සුළු චරිතයක් රඟපාන්න
ලැබුණා. අනතුරුව ඔහු සහ මහේෂ් රත්සර මද්දුමආරච්චි සමඟින් පබළු ටෙලි නාට්‍යය සඳහාත් අමා, සඳා
සහ පිනි කියන ටෙලි නාට්‍ය කීපයේම රංගන දායකත්වය ලබා දෙන්නත් ලැබුණා. ඒ හරහා නළුවෙක්
විදියට බොහෝ දෙනෙක් මාව අ¾දුනගත්තා. මේ වෙනකොට තවත් ටෙලි නාට්‍ය කීපයක රූගත කිරීම් කරගෙන
යනවා.
ඔබ දායකත්වය ලබාදුන් සිනමා නිර්මාණ මොනවද?
චිත්‍රපට හතරක් තිරගත වෙන්න නියමිතයි. ගිරිරාජ් කෞශල්‍යගෙ කතුරු මිතුරු, කෞශල්‍ය මාධවගෙ ඉක්කා,
බෙනට් රත්නායකගෙ කවුරුත් දන්නෑ සහ දේවින්ද කෝන්ගහගෙ ගිරිවැසිපුර. ඒ අතරින් කතුරු මිතුරු
චිත්‍රපටයේ මට සහාය අධ්යක්ෂවරයෙක් ලෙස වැඩ කරන්නත් ලැබුණා. මුරලි 800 කියන චිත්‍රපටය
සඳහා මට ආරාධනාවක් ලැබිල තිබුණා. නමුත් විජය සේතුපතිට ආපු ප්‍රශ්න එක්ක කනගාටුදායක ලෙස එහි
කටයුතු නතර වුණා. එය ජාත්‍යන්තර මට්ටමට යන්න තිබ්බ නිර්මාණයක්.
වීදි නාට්‍ය කරපු කාලෙත් මතක් කරමු.
කොළඹට ආපු මුල් කාලෙ ආර්ථික ප්‍රශ්න එක්ක තමයි වීදි නාට්‍ය සඳහා යොමු වුණේ. කොළඹ සිට ගාල්ල
දක්වා දුම්රියේ ගීත කියන්නත් අපි ඒ කාලෙ යොමු වුණා.
එහෙම ගමනක් ආපු ඔබ අද ගුරුවරයෙක්?
ඔව්. ඇත්තටම 2007 වසරේ සිට තරුණ සේවා සභාවෙ නාට්‍ය පාසලේ ගුරුවරයෙක් ලෙස වැඩ කරන්නත්
මට අවස්ථාව ලැබුණා. ඩිප්ලෝමාව උපාධියක් දක්වා වර්ධනය කිරීමත් එක්ක හැම දිස්ත්‍රික්කයකටම එක්
සංචිතය බැගින් අපි ආරම්භ කළා. මේ දිනවල ත්‍රිකුණාමලය සංචිතයෙ තමයි මං සේවය ලබා දෙන්නේ.
ලංකාව පුරා ඉන්න දක්ෂ ආධුනිකයන් තෝරා ගැනීමත් තරුණ සේවා සභාවට රැගෙන ඒමේ කාර්යයත් අපි
සිදු කරනවා. අපෙන් පසුව රංගනයට එන්න බලාපොරොත්තු වන පසු පරම්පරාවේ දක්ෂතා හ¾දුනාගෙන
ඔවුන්ට අතහිත දෙන්න ලැබීම සතුටක්.
වේදිකාවෙන් ලබාගත් අත්දැකීම් අනෙකුත් රංගන ඉසව් සඳහා ඉවහල් වෙනව කියන එක ඔබ පිළිගන්නවද?
ඔව්. ඇත්තටම රඟපෑම කියන්නෙ ඉගෙනගෙන කරන්න ඕන දෙයක්. වේදිකාව ඒ සඳහා ලොකු අත්වැලක්.
ධර්මප්‍රිය ඩයස්ගෙ සාදය මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍යයේ එකම චරිතය දර්ශනවාර දෙසිය
පනහක් මම රඟපෑවා. සජීවී කලා මාධ්‍යයක් නිසා වේදිකාවෙන් ලබන්න පුළුවන් අත්දැකීම් පරාසය
විශාලයි. ඒ හරහා ලැබෙන පන්නරය රංගනය, අධ්‍යක්ෂණය වැනි අංශ සඳහාත් අඩු වැඩි වශයෙන්
යොදාගන්න පුළුවන්.
ඔබේ පෞද්ගලික සහ වෘත්තීය මට්ටමේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. අපි කොළඹ තමයි දැන් පදිංචි වෙලා ඉන්නෙ. ඔවුන්ට යහපත් අනාගතයක්
ලබා දෙන්න ආර්ථිකමය අතින් ශක්තිමත් වෙන්නෙ කලාව හරහා. මේ ගෙවෙන්නෙ මගෙ වෘත්තීය ජීවිතේ
හොඳම කාලෙ කියලයි මට හිතෙන්නෙ. සිනමාකරුවෙක් විදිහට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න විශාල
හීනයක් තියෙනවා. නිෂ්පාදකවරයෙක් මගෙ පිටපතට දායකත්වය දෙන්න ඉදිරිපත් වුණොත් ඒ සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙනව.
නිසංසලා සංගීතා සමරතුග (මවිබිම)
0 Comments