බණ්ඩාරගම අටලූගම නිවෙසක දී තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදිතවී තිබිම හේතුවෙන් අධිකරණයේ අවසරය මත මළ සිරුර නිරෝධායන නීති රිති අනුව 
ඊයේ 9 පානදුර නැගෙනහිර මාලමුල්ල සුසාන භූමියේ  දී ආදාහනය කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.  එලෙස ආදාහන කටයුතු සිදුකරනු ලැබුවේ අටුලුගම පදිංචි 31 හැවිරිදි දෙදරු පියෙකි. ඝාතනයට ලක් වූ පුද්ගලයා ඔහුගේ සහෝදරිය සමග ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සහෝදරිය සිදුකළ බව කියන කතුරු ප්‍රහාරයකින් එම පුද්ගලයාගේ යටි බඩ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් තිබිණි.


මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පී.සී. ආර්. පරික්ෂණයේ දී කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් පානදුර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් නිරෝධායන නීති රීතිවලට අනුව මළ සිරුරේ අවසන් කටයුතු සිදු කරන ලෙස  ලබාදුන් නියෝග අනුව ආදාහන කටයුතු  සිදුකළ බව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 3081 එදිරිසිංහ මහතා අධිකරණයට කරුණු දැක්විය.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ -