ලංකාවේ ළාබාලතම කොවිඩ් ආසාදිතයා ලෙස දින විස්සක් වයසැති ළදරුවෙකු මිය ගියේය. අසාධ්‍ය තත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මෙම ළදරුවා මිය ගොස් තිබුණි. තොටලඟ ප්‍රදේශයේ ජීවත් වූ මේ  ළදරුවා ස්වසන අපහසුතාවක් නිසා රෝහල්ගත කරන ලද බවත් ඇතුළත් කරන විට නිව්මෝනියා තත්වයේ සිටි බවත් ඒ රෝගයෙන්ම ළදරුවා ජීවිතක්ෂයට පත් වූ බවත් වෛද්‍යවරු දන්වා ඇත. අනතුරුව කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකින් ළදරුවා
කොවිඩ් ආසාදිතව සිට ඇති බවත් මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව බවත් තහවුරු විය.
කෙසේ වෙතත් දරුවාගේ මව හා පියාට කොරෝනා ආසාදනය වී නැති බවද පැවසුණි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජි.විජේසුරිය මහතා සඳහන් කළේ මෙසේය.
“ඇතුළත් කරන අවස්ථාවේදීම එම දරුවා ඉතාමත් අසාධ්‍ය තත්වයේ සිටියා. ඒ අනුව තද බල නියුමෝනියාව තිබෙන බවට සනාත කර ගත්තා කෙසේ වෙතත් දරුවා ඒ අවස්ථාවේදීම දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා යොමු කළා. දැඩි සත්කාර ඒකකයේ සවස 4 දක්වා පමණ ප්‍රතිකාර ලැබුවා ඒ දරුවා. ඒ අතරතුරදී  PCR පරීක්ෂණයක් කළා. PCR පරීක්ෂණයෙන් දරුවාට කොරෝනා සෑදී ඇති බවට තහවුරු වුණා. ඒ වගේම එම දරුවාගේ දෙමාපියන්ගේත් PCR පරීක්ෂණ සිදු කළා නමුත් දෙමාපියන්ගේ කොරෝනා නැති බවට තමයි සනාත වුණේ.
මේ දරුවා මිය යාමට හේතු වුනේ ගොඩක් ප්‍රමාද වෙලා රෝහලට ගෙනාපු හින්දා. මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන්ට අසනීප තත්වයක් තියනවනම් දරුවන් වේලාසනින් රෝහලට රැගෙන එන්න. ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණීමට කිසිසේත්ම බය වෙන්න එපා”