බිලිඳුන් හතළිස් තුන්දෙනකු මුදලට අලෙවි කරමින් මිනිස් ජාවාරමේ නිරත වූ බවට සැකපිට මාතලේ උකුවෙල ප්‍රදේශයේදී පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත එදිනම රාත්‍රියේදී මුදා හැර තිබේ.


සැකකරුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 4 වැනිදා නැවත කැඳවීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර, එදිනට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියෝග කර තිබේ.

විවිධ හේතූන් මත අසරණව සිටින ගැබිනි මව්වරුන් නොයෙකුත් ගිවිසුම්වලට එකඟ කරවා ගනිමින් දරුවා ලැබුණු පසු තවත් පාර්ශ්වයකට එම දරුවා මුදලට විකිණීමේ මේ මිනිස් ජාවාරම ළමා හා කාන්තා කාර්යාංශය විසින් පසුගියදා අනාවරණය කර ගෙන තිබූ අතර ඒ අනුව සිදු කළ වැටලීමකදී මේ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මේ ජාවාරම්කරු විසින් බිලිඳුන් රුපියල් ලක්ෂ එකහමාරත් තුනත් අතර මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ගැබිනි කාන්තාවන්ට නවාතැන් දීමට මොරටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ස්ථාන කිහිපයකට ගොස් ඇති පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් එම කාන්තාවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර එම අවස්ථාවේදී එහි ගැබිනි කාන්තාවන් 12 දෙනකු, බිලිඳුන් දෙදෙනකු හා දරුවන් ලද මව්වරුන් 5 දෙනකු සිට ඇත. ඒ අතර මානසික ආබාධ සහිත ගැබිනි මව්වරු දෙදෙනකුද සිටි බව වාර්තා වේ.