
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී අද (02දා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළට පැමිණීමේ හැකියාවක් පවතින බැවින් අද දිවයින පුරා වැසි හා සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා
මෙම අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැගෙනහිර පළාතේ සියලුම පාසල්ද අද (02දා) සිට අනිද්දා (04) දක්වා වසා තබන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය අධ්‍යාපන බලධාරීන්ට ඊයේ (01දා) උපදෙස් ලබාදී තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය මත ජනතාව යම් පීඩාවකට පත් වුවහොත් ඔවුන් ආරක්ෂිතව රඳවා තැබීම සඳහා මෙලෙස දින තුනක් පාසල් වසා දැමීමට තීරණය කර ඇත.
මෙම සුළි කුණාටු තත්වය හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සමහර ස්ථානවලට මිලිමීටර දෙසීයට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාර්යනියුක්ත කාලගුණ විද්‍යාඥ උදේනි විරසිංහ මහත්මිය සඳහන් කළාය.
සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සමහර ස්ථානවලට මිට්ටිමීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් ඇය පවසා සිටියාය.
මීට අමතරව උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් අසූවත් අනුවත් පමණ වන තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් හැටත් හැත්තෑවක් පමණ වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය පවසා සිටියාය. පවතින තත්ත්වය මත නැවත දැනුම්දෙනතුරු දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හා පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් අසූවත් අනූවත් දක්වාත් සෙසු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් හැටත් හැත්තෑවත් දක්වාත් ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට හැකියාව පවතින බැවින් කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය හා මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් දෙකත් තුනත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත්, එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම ඕනෑම ආපදා තත්වයකට මුහුණදීම සඳහා දිස්ත්‍රික්ක ආපදා කාර්යාල සුදානම් කර තිබෙන බවත්, 117 දුරකථන අංකය භාෂා තුනෙන්ම පැය විසිහතර පුරාම ක්‍රියාත්මක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
ප්‍රහාරාත්මක සුළං රට හරහා ගමන් කළ හැකි නිසා ජනතාව ඒ පිළිබඳ අවධානයකින් කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
- ඉන්දික හේවාවිතාරණ -
Comments
Post a Comment
Your comment will be visible after approval