කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් ඉන්ශාෆ් අහමඩ් විවාහ වී සිටියේ තම පවුලේ දුර ඥාතිකමක් ඇති දියණියක් සමග බව ද එම විවාහ මංගල්‍යයට තමන් සහභාගි වූ බව ද  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයකු වන රියාද් බදියුදීන් මහතා ඊයේ (14) පැවැසීය.  ඉන්ශාෆ්  පළමු වරට හඳුනාගත්තේ එම මංගල්‍යයට සහභාගි වූ අවස්ථාවේ බව ද ඉන්ශාෆ්  තමන්ගේ සමීප මිතුරෙකු යැයි එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.  ඉන්ශාෆ්  අහමඩ් 2019 අප්‍රේල් 21 වැනිදා පිපිරුණ බෝම්බ මාලාවේ දී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බව දැන ගත්තේ එදින රූපවාහිනි ප්‍රවෘත්ති ඔස්සේ බව ද ඔහු පැවැසීය.


තම ඥාති දියණිය සමග විවාහ වීමෙන් පසුව ද ඉන්ශාෆ්  සමඟ එතරම් සමීප සම්බන්ධතාවයක්  නොපැවති බව ද ඔහු කුළු බඩු අපනයනය සම්බන්ධ ව්‍යාපාරයක නිරතව සිටි බව දැන සිටි නමුත්, ඔහු සතුව තඹ කර්මාන්ත ශාලාවක් පැවතුණු බව තමන් දැන ගත්තේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව බව බදියුදීන් මහතා සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේය. ඉන්ශාෆ්  2019 වසරේ පෙබරවාරි මාසයේ දිනයක තමාට දුරකථන ඇමතුමක් ලබා දී තම සහෝදරයා වන එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඩ් බදියුදීන් මහතා හමුවීමට අවස්ථාවක් ලබා දිය හැකිදැයි විමසූ නමුත් තම සහෝදරයා එකල කාර්යබහුල වූ බැවින් එසේ හමුවීමට අවස්ථාවක් ලබාදිය නොහැකි වූ බව ද සාක්ෂිකරු පැවැසීය. එසේ රිෂාඩ් බදියුදීන්ට අමාත්‍යවරයා හමුවීමට ඉන්ශාෆ් අවස්ථාවක් ඉල්ලා සිටියේ අපනයන කටයුතු සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් ගැන කතා කිරිමට බව ද ඔහු පැවැසීය.


තම සහෝදරයා ඔහු සමග කතා කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බව පෙනී ගිය නමුත් ඊට හේතුව කුමක්දැයි තමන් නොදන්නා බව ද ඔහු පැවැසීය. මෙම සිදුවීමෙන් මසකට ටික දිනකට පසු එනම් 2019 මාර්තු 01 වැනිදා ඉන්ශාෆ් තමන්ට දුරකතන ඇමතුමක් ලබා දී එදින සවස ඔහු අමාත්‍යවරයා  හමුවීමට අමාත්‍යාංශයට පැමිණෙන බව දැනුම් දුන් බව ද රියාද් මහතා පැවැසීය.  “අපේ අපනයන තහනම් කරලා. ඒ නිසා අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. ඒ ගැන කතා කරන්න තමයි වෙලාවක් ඉල්ලුවේ. ඒත් අවස්ථාවක් දුන්නේ නැහැනේ. ඒ නිසා අපි  ඕගොල්ලන්ට විරුද්ධව නඩු දානවා, තරහ වෙන්න එපා” කියලා ඉන්ශාෆ් මට කිව්වා යැයි ද රියාද් මහතා පැවැසීය.  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ  පරික්ෂණවල දී හෙළි වූ පරිදිම ඉන්ශාෆ් තමන්ට ඇමතුම් හතක් ලබා ගෙන ඇති නමුත් එම කාලය තුළ තමන් ඔහුට එකම ඇමතුමක්වත් ලබාගෙන නොමැති බව ද ඔහු පැවැසීය.


-මුදිතා දයානන්ද-