බැංකු කළමනාකාරියක වන තම සුරූපී බිරිය සමග අනියම් සබඳකම් පැවැත්වූ බව කියන කෝටිපති වාහන අලෙවි කරන ව්‍යාපාරිකයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමට තැත් කළ වැලි ව්‍යාපාරික සැමියෙකු සම්බන්ධ නඩුවක් පසුගියදා මීගමුව අධිකරණයේදී විභාග විය.

බිරිය සමග පවත්වාගෙන ගිය අනියම් ඇසුර නවතා දමන ලෙසට සැකකරු අනියම් සැමියාට අවස්ථා කිහිපයකදී අවවාද කර ඇතත් පලක් වී නොමැති අතර කීදේ නොඅසමින්  මෙම වාහන සේල් හිමියා තම බිරිය සිටි නිවසට යමින් සිටියදී මීගමුව පෙරියමුල්ල මාක් පාර ප්‍රදේශයේ රැක සිටි සැකකරු සහ ඔහුගේ ගෝලයකු විසින් කාර්සේල් ව්‍යාපාරිකයා කපා කොටා පලා ගොස් ඇත.

 සැකකරුගේ බිරිය සුරූපී ළාබාල ප්‍රධාන බැංකු ශාඛාවක කළමනාකාරිනියකි.සැකකරුගේ බිරිය තුවාල ලත් අනියම් සැමියාට මුදලින් ආධාර කර ඇති බව ද පැවැසේ. එම අනියම් ඇසුරට සම්බන්ධ යුවළ ලබාගත් බව කියන ඡායාරූප රැසක් අධිකරණය වෙත ඉදිරිපත් කළ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා විසින් තුවාල ලත් පැමිණිලිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි තුවාලකරුගේ විවාහක බිරියට ද විවෘත අධිකරණය හමුවේ එම ඡායාරූප පෙන්වන ලදී.

බැංකු කළමනාකාරවරියගේ  සැමියා වන කෝටිපති වැලි අලෙවි ව්‍යාපාරිකයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක වන්දි මුදලක් තුවාල ලත් ව්‍යාපාරිකයාට ගෙවීමට එකඟ වීම නිසා ඇප ලබාගන්නට ඔහුට හැකි විය.
මීගමු මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය විසින් නඩුවේ සැකකාර ව්‍යාපාරිකයා සහ ඔහුට සහාය වූ තවත් සැකකරුවකුට රුපියල් දසලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළාය.

ඇප නියම වූ සැකකාර ව්‍යාපාරිකයා කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලලත් වාහන සේල් හිමියා ද කොච්චිකඩේ ප්‍රදේශයේ සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන බව සඳහන් වේ.