මඩකලපුව ශික්ෂණ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකට කිසියම් පුද්ගලයකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම නිසා ඇය තුවාල ලබා රෝහල් ගත කළ බව මඩකළපුව මූලස්ථාන පොලිසිය කියයි. පෙරේදා (2) රාත්‍රී  මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ   පවත්වාගෙන යයි.  මෙසේ වෙඩි වැදීම නිසා තුවාල ලබා මඩකළපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන්නේ එම රෝහලේ සේවය කරන නඩරාජා රාධා (55) නමැති හෙද නිලධාරිනියකි.  මෙම හෙද නිලධාරිනිය ඊයේ ශල්‍යකර්මයකට ද ලක් කිරිමට නියමිතව සිටි බව රෝහලේ  වෛද්‍යවරයෙක් පැවසීය.

මඩකළපුව පොලිස් වසමට අයත් 
තාණ්ඩන්වේලි, කන්නගි අම්මාන් කෝවිල පාරේ නිවසක මෙම හෙද නිලධාරිනිය පදිංචිව සිටින අතර ඇයගේ නිවසේ සුරතලයට ඇති දැඩි කරන සුනඛයා නිතරම සැකකරුගේ ගෙවත්තට යෑම නිසා ඉන් කෝපයට පත් සැකකරු මෙම වෙඩි තැබීම කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මඩකළපුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක්  පැවසීය.  පෙරේදා රාත්‍රියේ ද මෙම සුනඛයා ගෙවත්තට පැමිණි අවස්ථාවේ සුනඛයා ඉලක්ක කර ගනිමින් සැකකාර පුද්ගලයා වායු රයිෆලයකින් වෙඩි තබා ඇති බවත් එම වෙඩි පහර ඇගේ නිවසේ අල්මාරියක කණ්ණාඩියට වැදී ඇති බවත් කියති. ඒ අවස්ථාවේ දී මෙවැන්නක් කළේ කවුදැයි කියා විපරම් කර බැලීමට ඇය දොර විවෘත කරගෙන නිවසින් එළියට පැමිණ ඇති බව ද එම පොලිස් නිලධාරියා කීය.


මේ අවස්ථාවේ සැකකරු වායු රයිෆලයෙන් තවත් වෙඩිල්ලක් තබා ඇති අතර එය හෙද නිලධාරිනියගේ පපු පෙදෙසට වැදී තුවාල සිදු වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.  මඩකළපුව මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් වෙඩි තැබීම සිදු කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහු නිවසින් පළා ගොස් සිටි බව පොලිසිය කීය.  වෙඩි තැබීමට යොදාගත් බවට සැලකෙන වායු රයිෆලය නිවසේ සගවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-