කරන්දෙණිය කැකිරිස්කන්ද බංගලාවත්ත ප්‍රදේශයේ නිවසක සිටි දහඅට හැවිරිදි විවාහක කාන්තාවක් රාත්‍රියේ නිවස පිටුපස කුරුඳු කැලෑවට ඇදගෙන ගොස් සමූහ අපයෝජනයකට ලක් කොට සැගවී සිටි තරුණයන්
තිදෙනෙකු ඊයේ (16දා) අලුයම ඌරගස්මංහන්දියේදී සැකපිට ප්‍රශ්න කිරීමට අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

පසුගිය නොවැම්බර් මස 30 වැනිදා රාත්‍රියේදී මව හා මිත්තණිය සමග මේ විවාහක කාන්තාව නිවසේ සිටියදී ඇය විසූ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ මේ සැකකරුවන් නිවැසියන්ට මරණීය තර්ජනය කොට විවාහක කාන්තාව නිවස පිටුපස කුරුඳු කැලෑවට ඇදගෙන ගොස් සමූහ අපයෝජනයට ලක් කොට ඇති බවද පොලීසිය පවසයි.

අදාළ කාන්තාව අපයෝජනයට ලක්ව ඇති බව බළපිටිය මූලික රෝහලේදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනාම වයස 18ත් 25ත් අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් දෙදෙනාගෙන් දෙදෙනෙකු කරන්දෙණිය කැකිරිකන්ද හා උතුරු මාගල යන ප්‍රදේශවල පදිංචි අය බවත් ඔවුන් දෙදෙනාම මත්කුඩු ළග තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කොට ඇප මත මුදාහැර සිටින බවත් අනෙක් සැකකරු පොළොන්නරුවේ පදිංචි ඔවුන් දෙදෙනාගේ මිතුරෙකු බවත් පොලීසිය කියයි.

සිද්ධියෙන් පසු මොවුන් මුලින්ම පොළොන්නරුවට පලා ගොස් සැගව ඉන් අනතුරුව මොනරාගලටද අවසානයේදී කරදෙණිය උතුරු මාගලට පැමිණ සැගව සිටියදී දින 16කට පසුව අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
 - එම්.සුසිල් ප්‍රියන්ත -