සංචරණ සීමා පනවා තිබූ බස්නාහිර පළාත ඇතුළු අනෙකුත් ප්‍රදේශයන්හි සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග විනෝද, වන්දනා කටයුතු යොදාගෙන කතරගම නිවාඩු නිකේතනයන්හි ලැගුම් ගැනීමට අදහස් කරන පිරිස් 
වෙතොත් තම පදිංචි කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරියකුගෙන් ලිපියක් රැගෙන ආ යුතු බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් දිසානායක මහතා පැවැසීය.

කොරෝනා වයිරසය ආසාදනය වී සිටි අයකු නම් පූර්ණ සුවය ලබා ඇති බවටත්, නිරෝධායනය වී සිටි පවුල් ඒකකයක් නම් නියමිත කාලය සාර්ථකව අවසන් කොට ඇති බවටත්, යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවටත් අදාළ ලිපියේ දක්වා තිබිය යුතු බව ද දිසානායක මහතා කියා සිටියේය.

කතරගමට නුදුරින් ඇති බුත්තල ප්‍රදේශයට කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ හාඩ්වෙයාර් වෙළඳසල්වලට බඩු බෙදාහරින පුද්ගලයකු දින කීපයක් එම ප්‍රදේශයේ නිකේතනයක නවාතැන් ලබාගෙන බුත්තල, මොණරාගල, මැදගම යන ප්‍රදේශයන්හි හාඩ්වෙයාර්වලට බඩු බෙදා හැර කොළඹ යාමෙන් අනතුරුව කෝවිඩ් 19 වෙරසය ආසාදනය වී ඇත. පසුව නවාතැන් ලබා සිටි නිකේතන හිමිකරුට ද වයිරසය ආසාදනය වීමත් සමග එම නිකේතනය වසාදමා සේවකයින් නිරෝධායනයට ලක්කිරීමට සිදු වූ බවත් අලෙවි නියෝජිත පුද්ගලයා බඩු බෙදාහැරිම සඳහා ගොස් ඇති හාඩ්වෙයාර් ආයතන කීපයක්ම නිරෝධායනයට ලක් කිරීමට සිදුවූ බව ද පෙන්වාදුන් සමන් දිසානායක මහතා වෙළඳසල් සඳහා බඩු භාණ්ඩ ලබාගැනීමේ දී ව්‍යාපාරික මහත්වරුන් ඉතාමත් සැලකිලිමත් වන ලෙස ද දැනුම්දීමක් කළේය.

- එම්.කේ. නන්දසේන -