මධ්‍යම පළාත තුළ ඇති පළාත්පාලන ආයතනවල  සේවකයන් සඳහා මහනුවර නව යහලතැන්න පුහුණු මධ්‍යස්ථානයේ පැවති “වැඩකරන පිළිවෙළ” නැමැති පුහුණුවට පැමිණ සිටි අයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනා ගැනීමත් සමග පුහුණුවට සහභාගි වී සිටි සේවකයන් 50 දෙනකු නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය  අංශ කියයි.
මාතලේ මහ නගර සභාව මගින් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කර සිටි අයකු මෙම පුහුණුවට එවීමෙන් පසු ඔහු ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ. එම ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ අදාළ පළාත් පාලන ආයතනවලට ඒ බව දන්වා එම ආයතන වාහනවලින් මෙම කම්කරුවන් නිවෙස්වලට යවා නිරෝධායනයට ලක් කළ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


මේ ලෙස ගම්පොළ නගර සභාව මගින්ද සෞඛ්‍යය අංශ කම්කරුවන් 8 දෙනෙකු මේ සඳහා යවා තිබූ අතර ඔවුන් නැවත ආරක්ෂිතව ගෙනවිත් නිරෝධායනයට යොමු කර තිබේ.  එසේ මේ අය සතියේ දිනවල නගර සභාවේ වැඩ කර තිබීම නිසා ගම්පොළ නගරාධිපති සමන්ත අරුණ කුමාර මහතා විසින් 20 වැනිදා සිට අනෙකුත් සේවකයන් ද වැඩට ගෙන්වීම නවතා ඔවුන් ද නිරෝධායනයට ලක්කර ඇත.  නව යහලතැන්න පුහුණු මධ්‍යස්ථානය තුළදී මෙම සේවකයන් 50 සඳහාම පීසීආර් පරික්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල පැමිණෙනතුරු මෙසේ සේවකයන් ගෙන්වීම නතර කර ඇත්තේ ආරක්ෂක පියවරක් ලෙස බව නගරාධිපතිවරයා පැවැසීය.


-සුරංග රාජනායක-