කෑගල්ල නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් රෝගියකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහල දින 14 කට ඊයේ (10) වසා දැමූ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එම්.ආර්.එස්.එන්. බණ්ඩාර අත්තනායක මහතා පැවැසීය.  


කෑගල්ල බල්ලපාන ප්‍රදේශයේ පුද්ගලයකු පෙරේදා (09) වැනිදා පෙරවරුවේ කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරික්ෂණයක් සිදු කර ඇති බවත් එම රෝගියාට කොරෝනා  ආසාදනය වී ඇති බව එම පරික්ෂණයෙන් තහවුරු වී ඇති බවත් හෙතෙම පැවසීය.


කොවිඩ් ආසාදනය වූ රෝගියා පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර රෝගියාට කොරෝනා 19 ආසාදනය වී ඇති බව එහිදී කරන ලද පී.සී. ආර්. පරීක්ෂණයකින් තහවුරු වූ බව ද වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවැසීය. එම පෞද්ගලික රෝහලට ඊයේ (10 වැනිදා) පෙරවරුවේ ගිය කෑගල්ල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිවු දෙනකු නිවෙස්වලට පිටත් කර යවා ඇත. පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පොදු වාහනවල ගමන් නොකර පෞද්ගලික වාහනවලින් නිවෙස්වලට ගොස් සිය නිවෙස්වල දින 14 ක කාලයක් නිරෝධායනය වන ලෙස ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුම් දී ඇත.


පෞද්ගලික රෝහලේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය අක්‍රිය වී ඇති බැවින් රෝහලට ආ ගිය මහජනතාව හඳුනා ගැනීමට එමගින්  නොහැකිවී ඇති බවත් කොරෝනා 19 ආසාදිතයා ඇසුරු කළ ආශ්‍රිතයන් ද  සෙවීමට කටයුතු කරන බවත් වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීවේය.


-චමින්ද වැවතැන්න-