චීනයේ සිනෝෆාම් සමාගම මගින් COVID-19 වෛරසයට එරෙහිව ඉදිරිපත් කර ඇති එන්නත එක්සත් අරාබි එමීරය තුළ භාවිතය සඳහා අනුමත කිරීමට එරට බලධාරින් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. වෛරසයට එරෙහිව එම එන්නත පෙන්නුම් කළ 86%ක් පමණ වන සාර්ථකත්වය ඊට හේතු වී තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී රට තුළ මෙම එන්නත භාවිතය සඳහා මුල්වරට අවසරය ලැබුණි. 




එහිදී ඉදි‍රිපෙළ රාජකායේ නිරත පිරිස් වෙත හදිසි අවස්ථාවක් ලෙස මෙම එන්නත භාවිතා කෙරිණි. එසේම එහි තෙවැනි අදියරේ අත්හදා බැලීම්වලින් පසුව එය එරට පුද්ගලයන් 31,000ක් වෙත විදීමට අනුමැතිය ලබා දී ඇත.

එක්සත් අරාබි එමීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මෙම එන්නත මගින් COVID-19 වෛරසයේ දරුණු තත්ත්වයන් ඇති වීම 100% කින්ම වළක්වන බව සදහන් වෙයි. එසේම එහි කිසිදු ආකාරයක අනාරක්ෂිත බවක්ද නොමැති බව හඳුනාගෙන ඇත.

චීනයේ සිනෝෆාම් CNBG සමාගම එරට බීජිං නුවර බයෝලොජිකල් ප්‍රඩක්ට්ස් ආයතනයත් සමගින් එක්ව මෙම එන්නත නිපදවා තිබේ. එක්සත් අරාබි එමීරය තුළ එන්නත්කරණයේ පළමු පියවර යටතේ එරට වෙසෙන විවිධ ජාතිකත්වයන් 125 කට අයත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ 31,000ක පිරිසකට එය ලබා දී ඇත. එහිදී එක්සත් අරාබි එමීරයේ අමාත්‍යවරුන් මෙන්ම ඩුබායි නුවරපාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් ද මෙම සිනෝෆාම් එන්නත ලබා ගෙන ඇත.

එක්සත් අරාබි එමීරය අනුව යමින් බහරේනයත් මේ වනවිට මෙම එන්නත එරට තුළ භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එසේ මොරොක්කෝවද මෙම එන්නත සඳහා අනුමැතිය ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත.