‘කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නත් ජපානයේ සියලු වැසියන්ට  නොමිලේ ලබා දීමට ජපාන මධ්‍යම රජය තීරණය කර තිබේ.  'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඇති කරවන එන්නතක් නිපදවා ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ අනුමැතිය ලබා දුන් සැණින් ඒවා මිලදී ගෙන, ජපන් වැසියන්ට ලබා දීමට ජපන් මධ්‍යම රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත ජපන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී ඊට සියලු දෙනා ඒකමතිකව කැමැත්ත පළ කළේ යැයි ද පැවැසෙයි.


එන්නත මිලදී ගැනීම ජපන් රජයේ අනුග්‍රහයෙන් සිදුවනු ඇති බවත්, ඉන්පසු එය සියලුම ජපන් වැසියන්ට නොමිලේ ලබා දීමට පියවර ගන්නා බවත් ජපානයේ සෞඛ්‍ය, කමිකරු සහ සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මේ වනවිට සාර්ථකව කොරෝනා  එන්නත් නිපදවා ඇතැයි පැවැසෙන ඇමෙරිකාවේ 'මොඩර්නා' සමාගම සමගත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ට සහාය වෙමින්, එන්නතක් නිපදවා ඇති ‘ඇස්ට්‍රාසෙනකා' ඖෂධ සමාගම සමඟත් ජපන් රජය ගිවිසුම් ඇති කරගෙන තිබෙන බවට වාර්තා පළ වී ඇත.