මාරවිල මුදුකටුව ලූඩ්ස් මාවතේ තිබී 17 දා උදෑසන සැක කටයුතු අන්දමින් මිය ගිය  පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වූ බව මාරවිල පොලිසිය කියයි. එසේ මිය ගොස් ඇත්තේ මුදුකටුව වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි අඹගහගේ 
ේනක සුමිත් ප්‍රසන්න ප්‍රනාන්දු (36) නමැති එක් දරු පියෙකි.  මුහුණේ ලේ තැවරී තිබු මෙම මරණය පහර දීමකින්, වැටීමකින්, හදිසි අසනීප තත්ත්වයකින් සිදුවුවක්ද යන්න සොයා බලන බවද ඔහුගේ බිරිය කලින් මිය ගොස් ඇති බවද ධිවරයකු   ලෙස රැකියාව කළ මරණකරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි අයෙකු බවද පොලිසිය පැවසීය.

ඔහු බහු දින ධීවර යාත්‍රාවක රැකියාවට ගොස් ඉකුත් 15 වැනිදා පැමිණ 16 වැනිදා දහවල් නිවසින් පිටව ගිය බවත්  යළි නිවසට නොපැමිණි බවත් ඥාතීන් පොලිසියට පවසා ඇත. මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරික්ෂණ සිදු කළ අතර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා සිරුර හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවන මෙන් පොලිසියට නියෝග කළේය.

-ට්‍රිස්ක්  කොන්ස්ටන් -