මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කොටසක් ඉදි කිරීමට කොන්ත්‍රාත්තුව ලබාදුන් යහපාලන
ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයකුට අයත් සමාගමකට ලබාදුන් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් පියවර ගත් බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහතා පවසයි.


එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු එම සමාගම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා මෙම පියවර ගෙන තිබේ.

යහපාලන රජයෙන් තමන්ගේම කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍යවරයකුට අයත් ඉදිකිරීම් සමාගමකට මධ්‍යම
අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කොටසක් ඉදිකිරීමට කොන්ත්‍රාත්තුව ලබා දුන්නා.

අපි එම සමාගම සමඟ දිගින් දිගටම සාකච්ඡා කර ඉදිකිරීම් කඩිනම් කරන්නට උපදෙස් ලබා දුන්නා.

නමුත් ඔවුන් දිගින් දිගටම ඉදිකිරීම් ප්‍රමාද කළා.

ඔවුන්ට අයත් එම මාර්ග කොටසේ ඉදිකිරීම් අවසන් නොකර මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස
ජනතාව වෙනුවෙන් විවෘත කරන්න බැහැ.

ගෙවිය යුතු  මුදල් ලබාගත් පසුත් ඔවුන් කළේ දිගින් දිගටම එම මාර්ග කොටසේ ඉදිකිරීම් පමා කිරීමයි. එම
කොන්ත්‍රාත්තුව අවලංගු කරලා. ඉදිකිරීම්වලින් ඉවත් කිරීමට අපි කටයුතු කළා.

මේ වන විට නියමිත දිනට වැඩ වැඩ අවසන් කළ  හැකි සමාගමකට භාර දීමට අපි කටයුතු කළා.

ලබන වසරේ මාර්තු මස අවසානයේදී මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩකටයුතු අවසන් කර
මහජනතාවට ගමනාගමනය සඳහා විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය රජය විසින් ගත්
වැරැදි ක්‍රියාමාර්ග නිසා තමයි මෙම මාර්ගයේ සංවර්ධනය අඩාල වුණේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට
මීරිගම දක්වා වූ පළමු කොටසෙහි ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

ජේ.ටී. ද සිල්වා