රජය මාගරින් හා මේද ආනයන බදු ඉහළ දැමීම හේතුවෙන් පාන් හැර කේක්, බනිස් ඇතුළු සියලු බේකරි නිෂ්පාදන මිල ලබන ජනවාරියේ සිට ඉහළ දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ  සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවැසීය. ඒ අනුව කේක් කිලෝවක මිල රුපියල් 50 කින් හා බනිස්, මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 5 ත් 10 ත් අතර මිලකින් ද ඉහළ යන බව ද ඔහු කීය.  රජය මගින් ඉකුත්දා මාගරින් කිලෝවක ආනයන බද්ද රුපියල් 650 කින් හා මේද කිලෝවක ආනයන බද්ද රුපියල් 615 කින් ද, ඉහළ දැමූ බව පැවසූ සභාපති ජයවර්ධන මහතා පසුව මේද කිලෝවක ආනයන බද්ද පමණක් මාස 6 කට යටත්ව රුපියල් 215 දක්වා අඩු කළ බව ද පැවැසීය.



මාගරින් හා මේද ආනයනය දැඩි ලෙස සීමා කිරිමට රජය පියවර ගැනීම හේතුවෙන් මාගරින් හා මේද ආනයනය කිරිම සම්පූර්ණයෙන්ම නතරවී රට තුළ මාගරින් හිඟයක් පවතින බවත් පැවසූ සභාපතිවරයා මේ නිසා බේකරි කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී බේකරි හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද කීවේය.  විශේෂයෙන් දැනට මේද ආනයනය කිරීමේ දී රජය ලබා දී ඇති  බදු සහනය ලබන 26 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරිම, මාගරින් සඳහා අයකරනු ලබන ආනයනය බදු අඩු කිරීම හෝ  දේශීය මාගරින් නිෂ්පාදනය සඳහා පමණක් ආනයනය කරනු  ලබන ෆාම්තෙල් සඳහා බදු නිදහස් කිරිම හා ෆාම්තෙල් සහ  පොල්තෙල් සම්බන්ධව පවතින ගැටලු විසඳීම සඳහා රජය කඩිනමින් මැදිහත්වන ලෙස රජයෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ල සිටින බව ද ඔහු පැවැසීය.  මෙම කරුණු ගැන රජය අවධානය යොමුකර යහපත්  ප්‍රතිචාරයක් අප වෙත ලබා නොදුන්නොත් අනිවාර්යයෙන්ම ලබන ජනවාරියේ සිට පාන් හැර සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව ද ජයවර්ධන මහතා කීය.


-මහින්ද නිශ්ශංක-