සිව් හැවිරිදි එකම දරුවා ඉන්ධන ටැංකිය මත තබාගෙන යමින් සිටි අඹු සැමි යුවළක් රැගත් යතුරු පැදියක් පෙරේදා (21) පිළියන්දල ජාලියගොඩ දී අනතුරකට ලක්වීමෙන් එම දරුවා සහ දරුවාගේ පියා මිය ගිය බව  පිළියන්දල පොලිසිය කියයි. 
අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචි ව සිටි ප්‍රදීප් උදය කුමාර (32) හා අවුරුදු 4ක් වයසැති පුතු සදෙව් අබිරාශ් ය.  අඹුසැමි යුවළ කුඩා දරුවා සමග පිළියන්දල දම්පේ ප්‍රදේශයේ නිවසක තාවකාලිකව නැවතී සිටින අතර ඊයේ උදේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යොමු කිරිමට යමින් සිටිය දී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි.


හොරණ කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ මංතීරු දෙක වෙන් කිරීම සදහා යොදා තිබෙන මැද දූපතේ තබා තිබූ විශාල මල් පෝච්චියක යතුරු පැදිය ගැටී මෙම  අනතුර සිදු වී ඇති බව  පොලිසිය කියයි" අනතුර සිදු වීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති අතර ඉන්ධන ටැංකිය මත සිටි දරුවාගේ පාදයක් යතුරු පැදියේ හැඩලය සහ ඉන්ධන ටැංකිය අතර සිර වී මෙම අනතුර සිදු වී ඇති බවට සැක කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය. අනතුරින් යතුරු පැදිය දෙකට වෙන් වී ඇත.  තුවාල ලද මව කොතලාවල ආරක්ෂක පීඨය රෝහලේ  ප්‍රතිකාර ලබයි.


-බිමල් ශ්‍යාමන් ජයසිංහ-