වර්තමානයේදී රටේ ඇතිව තිබෙන මහා ආර්ථික සහ සමාජ අසහනය ඇතුළු සෑම ක්ෂේත්‍රයක් සඳහාම මෙවර අයවැයෙන් කිසිදු පිළිතුරක් නොමැති බව සමගි ජනබලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  මහතා ප්‍රකාශ කළේය. හෙතෙම මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවති 2021 අයවැය විවාදය 03වැනි වර කියවීමේ කාරක සභා අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය, සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය
අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි. ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"ශ්‍රේණිගත කිරීම් වලින් පහළින් පහළට ඇද වැටෙද්දී ලංකා බැංකුව, ඉන්ෂුවරන්ස් කෝපරේෂන් එක ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරවලටත් අද විදේශ බැංකු වලින් ඉහළ පොලී අනුපාත වලට යටත්ව ණය ගැනීමට සිදුව තිබෙනවා. ඒ නිසා අද සමාජයේ ඇතිව තිබෙන මේ මහා ආර්ථික අසහනයට, සමාජ අසහනයට වගේම සෑම ක්ෂේත්‍රයකටම මේ අයවැයෙන් නම් කිසිම පිළිතුරක් නැති බව ප්‍රකාශ කරන්න ඕනෑ.

ඒ වගේම මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන ඉලක්කම් සිත රවටා ගැනීමක්. වියදම් කප්පාදුව, පොලී ගෙවීම අඩු කරනවා කියලා තියෙනවා 860ට. හැබැයි මේ අවුරුද්දේ විතරක් ගත්තා රුපියල් බිලියන 2100ක ණය. මෙය කිසිම යථාර්ථවාදී ඉලක්කමක් නොවෙයි. අනිවාර්යෙන්ම මේ පොලී ගෙවීම මීට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම වැඩකරන රටක් හදන්න ඇවිල්ලා මේ වසරේ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 419යි. වැඩ කළේ නැහැයි කියන යහපාලන ආණ්ඩුවේ 2015 ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 967යි. මේක වැඩි කරනවා කියලා තියෙනවා රුපියල් බිලියන 1070කට. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම කියල තියෙන්නේ මේ පාරවල් කිලෝමීටර ලක්ෂයක් හදනවයි කියන එක.

මං මතක් කරන්න ඕනෑ අගමැතිතුමා තමන්ගේ කතාවේදි කිව්වා කිලෝමීටර් 5000ක් හදන්න රුපියල් බිලියන 20ක් දෙනවා කියලා. කිලෝමීටරයට රුපියල් 400යි. අද හයිරෝඩ් ව්‍යාපෘතියේ සෑම කිලෝමීටරයකටම මිලියන 42ක් යනවා. අඩුම වශයෙන් කිලෝමීටරයක් නිර්මාණය කිරීමට මිලියන 20ක් යනවා. ඒ අනුව මිලියන 20,000න් හදන්න පුළුවන් කිලෝමීටර 1000ක් පමණයි. රාජ්‍ය මූල්‍ය අර්බුදය හමුවේ මේ පාරවල් විප්ලවය අපිට කරන්න පුළුවන්ද?

මේ සිදුකරගෙන යන්නේ ඊළග පළාත් සභා මැතිවරණය හරහා රජයේ තිබෙන සීමාසහිත අරමුදල් ටිකත් මේ පාරවල් වලට යට කිරීමේ ක්‍රියාවලියක් මිසක් රටේ මූල්‍ය ප්‍රමුඛතාවය, ආර්ථික ප්‍රමුඛතාව හඳුනා ගැනීමක් නොවෙයි.

ඒ වගේම මම නැවතත් කියනවා 2019 දෙසැම්බර් 01 වැනිදා මේ රටේ ඉහළම ධන කුවේරයන්ට ලබාදීපු ඒ දැවැන්ත බදු සහනය නිසා තමයි අද රාජ්‍ය ආදායම බිඳවැටිලා හැමදේම වෙනස් ආකාරයට බදු ගසමින් යන්න සිදුවෙලා තිබෙන්නේ. එදා ඒ කළ නව ලිබරල්වාදී බදු ප්‍රතිපත්තිය නිසායි මෙහෙම වුණේ”යැයිද කීය.

- නිදර්ශනී වික්‍රමසිංහ -