මවුපිය උරුමයක් මෙන්ම, සිහිවටනයක් ලෙස හල්මිල්ලෑවේ නිවෙසක තබා තිබු පැරණි ගොන් කරත්තයක් සොයා ගෙන නාරම්මල ප්‍රදේශයට අලෙවි කර තිබියදී සකකරුවන් හතරක් සමග ගොන් කරත්තය අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය 8වැනිදා පැවසීය. ප්‍රධාන සැකකරු හල්මිල්ලෑව ප්‍රදේශයේම  පදිංචිකරුවකු බව පොලිසිය කියයි. සිද්ධිය වූ දිනම මොහු විසු ඥාති නිවෙස අත්හැර දමා නිවසේ බඩු බාහිරාදිය ද පටවාගෙන බිරිය සමග නාරම්මල ප්‍රදේශයේ කුලී නිවෙසකට ගොස් ඇති අතර එම නිවසේ කුලී ගෙවීම සඳහා මෙම ගොන් කරත්තය රුපියල් විසි දහසකට නාරම්මල පැරණි යකඩ බඩු ව්‍යාපාරික ස්ථානයකට විකුණා ඇති බවද පරික්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කළේය.


නිකවැරටිය නගරාසන්නයේ පදිංචිකරුවකු හල්මිල්ලෑව ප්‍රදේශයේ තම මවුපියන්ගෙන් අයත් වු මහ ගෙදර කෞතුක භාණ්ඩයක් ලෙස ආරක්ෂා කර තිබූ මෙම වටිනා ඉපැරණි ගොන් කරත්තය සොරාගෙන ඇති බවට කර තිබූ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලදී සොරා ගත් බව කියන වටිනා පැරණි ගොන් කරත්තය මිලට ගත් බව කියන පැරණි යකඩ බඩු මිලට ගන්නා එම ව්‍යාපාරික ස්ථානයේ රෝද ගලවා සඟවා තිබියදී සොයා ගැනුණ බවද පොලිසිය සඳහන් කළේය.

තමන් කුඩා අවධියේ තම පියා මෙම ගොන් කරත්තයෙන් පවුල් නඩත්තු කර ඇති බවද, මේ වන විට තමා ධනවතකු වුවද එකල ජීවත් වීමට තම පවුලට ශක්තියක් වූ මෙම ගොන් කරත්තය පණ මෙන් සුරක්ෂිත කරමින් තම මහ ගෙදර තබා තිබියදී රාත්‍රී කාලයේ සොරා ගෙන ගොස් ඇති බවද පැමිණිලිකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම සැකකරුවන් සිවුදෙනා රාත්‍රී කාලයේ එම නිවසේ තිබු ඉපැරැණි කරත්තය තල්ලු කරගෙන විත්, පාසල් කම්බි වැට කඩා, පාසල් භූමිය හරහා රැගෙන විත් ලොරි රථයකට පටවාගෙන නාරම්මල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

- ප්‍රියාණි මංගලිකා -