කොට්ටාව මාලබේ පාරේ විද්‍යාල හන්දිය අසල ආපනශාලාවක් ගැබිනි මවුවරුන්ට උදේ ආහාරය නොමිලයේ ලබාදෙන බව වාර්තාවේ. මාලබේ, තලාහේන ප්‍රදේශයේ පදිංචි මහේෂ් පෙරේරා සහ ගංගා සේනාරත්න යන යුවළ මේ කාර්යය ඉටු කරන අතර මෙම ආපන ශාලාවෙන් වසර දෙකක පමණ සිට ගැබිනි මවුවරුන්ට උදේ ආහාරය නොමිලයේ දෙන අතර පුජ්‍ය පක්ෂයේ හෝ යාචකයකු පැමිණි අවස්ථාවකදී ද අය කිරීමකින් තොරව ආහාර ලබා දීමට පියවර ගන්නා බව එහි හිමිකරු පැවසීය.
මේ පිළිබඳව ආපනශාලාවේ හිමිකරු මහේෂ් පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද කීය.
අපි විවාහ වෙලා අවුරුදු 27 ක් වෙනවා. අපිට දැන් දූලා දෙන්නෙක් ඉන්නවා. මුල් කාලේ ආර්ථික ප්‍රශ්න නිසා අමාරුවෙන් තමයි ජීවත් වුණේ. සමහර වෙලාවට පාන් කෑල්ලක් කාලා අපි දෙන්නා කුස පුරවා ගත්තා. ඒත් අපි කාටවත් බරක් වුණේ නැහැ. මගේත් බිරිඳගේත් උත්සාහය නිසා අද හැකි පමණින් අනුන්ටත් උදවුකරමින් සතුටින් අපේ ජීවිතය ගත කරනවා.
මගේ ව්‍යාපාරය තමයි ආපනශාලා පවත්වාගෙන යාම, ඒ හැම තැනකම මම ගැබිනි මව්වරුන්ට උදේ ආහාරය නොමිලයේ දෙනවා. ඒ විතරක් නෙමෙයි පූජ්‍ය පක්ෂයේ කෙනෙක් යාචකයෙක් ආවත් සල්ලි ගන්නේ නැහැ. ඒක වසර දෙකක ඉඳලා කරගෙන යනවා. මේක අපේ සතුට වෙනුවෙන් කරන දෙයක්. මේ සඳහා මට මගේ බිරිඳත් මගේ සහෝදරියත්, ඇයගේ සැමියාත් උදව් කරනවා.
මේ පිළිබදව ගංගා සේනාරත්න මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.
මීට වසර විස්සකට පෙර මගේ දෙවැනි බබා හම්බවෙන්න රෝහලට යන්න සූදානම් වෙද්දී මුදල් අගහිගකම නිසා ත්‍රීරෝද රථයක් හොයාගන්න පරක්කු වුණා. මට ගොඩක් අමාරු වෙලා තිබුණේ කොහොමහරි වාහනයක් හොයාගෙන රෝහලට යද්දී මගේ බබා මිය ගියා. හැබැයි පරක්කු නොවී රෝහලට යන්න තිබුණානම් දරුවා බේරාගන්න තිබුණා. ඒ තරමටම අපිට ඒ කාලේ ආර්ථික ප්‍රශ්න. මේ අත්දැකීමෙන් මමත් සැමියාත් පුදුම විදියට දුකින් සිටියේ. මේ ගැන කල්පනා කර කර ඉන්නැද්දි මම සැමියාට කිව්වා අපේ බබා වෙනුවෙන් මොකක්හරි කරමු කියලා. ඊට පස්සේ තමයි සැමියා මේ සත්කාරය කරන්න පටන් ගත්තේ.
- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න -
0 Comments