කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකුට කොරෝනා 19 ආසාදනය වීම හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කටයුතු ඊයේ (15) දිනයට පමණක් අත්හිටුවීමට කටයුතු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය. 


එම අධිකරණ සංකීර්ණයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, පළාත් බද මහාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, දිසා අධිකරණය, දිසා අධිකරණය II, දිසා අධිකරණය III, කම්කරු විනිශ්චය සභාව යන අධිකරණ 7ක් පිහිටුවා ඇත.

කෑගල්ල රඹුක්කන පදිංචි මෙම නීතිඥවරයා ඉකුත් දා කොළඹ ප්‍රදේශයේ රාජකාරියට ගොස් පැමිණීමෙන් පසුව ඔහුට පී.සී.ආර්. පරීක්ෂණයක් කර තිබුණි. එම පරීක්ෂණයේ ප්‍රතිඵල පෙරේදා (14) දා පැමිණීමෙන් පසුව නීතිඥවරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණු බව වෛද්‍යවරයා පැවසීය. තමන් කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග කෑගල්ල අධිකරණ සංකීර්ණයට ඊයේ (15) ගිය බවත් මුළු අධිකරණ සංකීර්ණයම සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සේවකයන් යොදා විෂබීජ හරණය කිරීමට කටයුතු කළ බවත් ඔහු පැවසීය. ඊයේ දිනයේ පමණක් කෑගල්ල අධිකරණ සංකීර්ණයේ කටයුතු සම්පුර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කළ බව ද වෛද්‍යවරයා පැවසීය. මෙම නීතිඥවරයා ඇසුරු කළ ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය බලධාරින් දිගටම කටයුතු කරන බව ද ඔහු පැවසීය.

පසුව අධිකරණ සංකීර්ණ භූමියේ පිහිටි අධිකරණවල නඩු කටයුතු ඉදිරි දිනක දී විභාග කිරීමට කටයුතු කරන බවට කෑගල්ල අධිකරණ සංකීර්ණයේ රෙජිස්ට්‍රාර්වරයකු පැමිණ සිටි මහජනතාව ඉදිරියේ පැවසීය. මහජනතාව පිටව යාමෙන් අනතුරව සෞඛ්‍ය බලධාරින් විසින් මුළු අධිකරණ ශාලා පරිශ්‍රයම විෂබීජහරණය කරන අයුරු දක්නට ලැබුණි. එසේම නිරෝධායන දැන්වීම් අධිකරණ සංකීර්ණයට ඇතුළත් වන ප්‍රධාන දොරටුව අසල හා ඒ ඒ අධිකරණවල ද ප්‍රදර්ශනය කරන අයුරු දක්නට ලැබුණි.


- චමින්ද වැවතැන්න -