බේබද්දෙකු වන තම සැමියා තමාට බලහත්කාරයෙන් අරක්කු පොවන නිසා මුහුණු පොතෙන් හඳුනාගත් තරුණයකු සමග හොර රහසේ පැනවිත් ඔහුත් සමඟ දීගකෑමට පටන්ගත් බව 25 හැවිරිදි රූමත් කාන්තාවක පැමිණිලි විභාගයක දී තොරතුරු අනාවරණය කළේ යැයි උහන පොලිසිය කියයි. 

ගල්කිස්ස පොලිස් වසමේ පදිංචි තරුණයකු තම විවාහක බිරිඳ උහන ප්‍රදේශයේ තරුණයකු සමඟ දීග කන බවත් ඇය නැවත තමාට ලබාදෙන ලෙසත් ඉල්ලා උහන පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි.


ගල්කිස්සේ තරුණයා කළ පැමිණිල්ලකට අනුව විවාහක බිරිඳ හා ඇයත් සමඟ දීග කන බව කියන තරුණයා ද එම පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට කැඳ වූ බව උහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

තමා කුඩා කාලයේ සිට හැදී වැඩුණේ ළමා නිවාසයක බව ද පැමිණිලි විභාගයේ දී කියා සිටියාය. විවාහක සැමියා බේබද්දකු බවත් ඔහු බීමතින් තමාට නිතර පහර දෙමින් බලහත්කාරයෙන් අරක්කු පොවන බවත් ඇය හඬමින් කියා සිටි බව පොලිසිය කියයි.

මේ නිසා සැමියා සමග විවාහ ජීවිතයක් ගත කිරීම එපා වී සිටි අතරවාරයේ මුහුණ පොතෙන් හඳුනාගත් උහන ප්‍රදේශයේ පදිංචි තරුණයා සමඟ පැන ඇවිත් ඔහු සමඟ දීග කෑමට පටන්ගත් බව ඇය පැවසී යැයි ද උහන පොලිසියේ නිලධාරියා සඳහන් කළාය. බිරිඳට පහර දී බලහත්කාරයෙන් අරක්කු පොවන බව ඇත්තක් බවත් මින් ඉදිරියට එවැන්නක් නොකරන බවත් ඇය හොඳින් රැක බලාගන්නා බවත් ගල්කිස්සේ තරුණයා පොලිස් නිලධාරින් සමග පවසා ඇති බවත් කියති. ඒ නිසා බිරිඳ නිවසට කැඳවාගෙන යාමට ඇයගේ කැමැත්ත ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටි අවස්ථාවේ උහන තරුණයා අවශ්‍ය බවට ඇය පවසා ඇතැයි පොලිසිය කියයි.

පැමිණිල්ල විභාගය අවසානයේ කාන්තාව ඇයගේ විවාහක සැමියා සමග යාමට කැමැත්ත ප්‍රකාශ කළ බව පොලිසිය කීය.
- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -