පාර්ලිමේන්තු පනතක් යටතේ ස්ථාපිත කර ඇති මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට මුදල් ලේකම්වරයාට ඇති බලය කුමක්දැයි තමා මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අදාළ කොමිසමෙහි සමාජිකයෙකු ඉවත් කළ හැකි වන්නේද පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් පමණක් වන බවයි.


2021 අයවැය විවාදය 03 වැනි වර කියවිමේ කාරක සභා අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය, සමෘද්ධිගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හී වැය ශීර්ෂ විවාදයට ගැනීම පාර්ලිමේන්තූවේදී ඊයේ සිදුවූ අතර, ඊට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය. "ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්තයාට ලිපි යවලා මහජන උපයෝගීතා කොමිසම අඩාල කරන්න පුළුවන්ද? එය මේ පාර්ලිමේන්තුවෙන් ස්ථාපිත කරන ලද පනතකින් ස්ථාපිත කරන ලද ආයතනයක්. මේ කොමිසම සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටි කොමිසමක්. ඒක අහෝසි කරන්න මුදල් ලේකම්වරයාට ඇති බලය කුමක්ද?

මම දැනගන්න කැමතියි මුදල් ඇමති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අමාත්‍යාංශ විෂයන් බෙදීම යටතේ එම ආයතනය ගැසට් කර ඇත්තේ මුදල් ඇමතිවරයාට. මුදල් ඇමතිවරයා ගැසට් කර ඇති ආයතනය පී.බී. ලියුම් වලින් යවනවා වහලා දාන්න කියලා.

ඒ විතරක් නොවෙයි ආටිගල, මා  ගරු කරනවා එතුමාගේ දැනුම්වත්කමට. එතුමාගේ අධ්‍යාපනයට. එතුමා අපේ රටේ දරා ඇති නිලතල වලට මගේ ගරු කිරීමක් තිබෙනවා. හැබැයි එතුමා කොහොමද දුරකථන වලින් කතා කරලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමට කියන්නේ අස් වෙන්න කියලා. එහි සභාපතිවරයා ප්රාදෙණිය ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා. තව සාමාජිකයෙක් මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා. එවැනි ඉතාමත් වැදගත් නිලධාරී කණ්ඩායමක් මහජන උපයෝගීතා කොමිසමේ ඉන්නවා. එය ඉවත් කිරිමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට.

අමාත්‍යවරයා විසින් ඔවුන්ට චෝදනා ඉදිරිපත් කරලා, ඒ චෝදනාවන්ට පිළිතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, ඒ පිළිබඳ වාර්තාවක් ඇමතිවරයාට ඉදිරිපත් කරලා, එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා, පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් විතරයි කොමිසමේ සාමාජිකයෙක් ඉවත් කරන්න පුළුවන්. ඒවා තමයි මහජනයා වෙනුවෙන් ගොඩනගන කොමිසම්. ඒවා අහෝසි කරනවා. මෙගා වොට් 300ක බලාගාරයක් පිළිබඳ තියෙන ගණුදෙනුවේ ඊළඟ පියවර මේ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම.

ඒ නිසා වංචාව, දූෂණයට තිත තබනවා කියන්නේ දූෂණ විරෝධී දිනයේදී නිවේදන නිකුත් කරනවා නොවෙයි. තමන්ට පැවරී තිබෙන ජනාධිපති බලතල දූෂණ ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා තීන්දු ගැනීමට යොදා ගැනීම තමයි වගකීම කියන්නේ ."
- නිදර්ශනී වික්‍රමසිංහ -