මහ මග කසළ උර කිහිපයක් දමා ගොස් තිබූ පුද්ගලයෙකු සොයා ගනිමින් ඔහු ලවාම කසළ තොගය පරික්ෂා කර ආපසු රැගෙන යාමට සලස්වා සැකකරුට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව ගම්පහ පොලිස් කොට්ඨාස පරිසර අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක පී.ඩි. කුමාරසිරි මහතා පැවසිය.
පරිසරය විනාශ කරමින් නැනින් තැන කුණු කසළ බැහැර නොකරන ලෙසට කොතෙකුත් අවවාද කෙරෙන මුත් ඒවා තුට්ටුවකට මායිම් නොකරන පුද්ගලයෝ හොර රහසේ මහ මග පවා කසළ බැහැර කරමින් පරිසරය විනාශ කිරීමට යොමුව සිටිති.
එලස ගම්පහ, ඔරුතොට මාර්ගයේ සමාධි මාවත අසල කසළ බැහැර කළ පුද්ගලයෙකු, කසළ සමග තිබූ දුරකතන අංකයකින් ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබීය. මාර්ගය අද්දර කසළ බැහැර කොට තිබීම දුටු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් එහි තිබූ දුරකථන අංකයක් සොයා ගනිමින්, ප්‍රදේශය නියෝජනය කරනු ලබන ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලකසිරි ජයමාන්න මහතාට යොමුකිරීමට පියවර ගෙන ඇති අතර අනතුරුව ගම්පහ කොට්ඨාස පොලිස් පරිසර අංශයට පැමිණිලි කරමින් අදාළ දුරකථන අංකය ඔස්සේ පුද්ගලයා සොයා ගැනීමට සමත්ව ඇත. එම පුද්ගලයා කසළ බැහැර කළ,සමාධි මාවතෙ අසලට ගෙන්වාගෙන අවවාද කරමින් ඔහු ලවාම ගෙනැවිත් දමා තිබු ඉඳුල් ඇතුළු විවිධ අපද්‍රව්‍ය මෙන්ම භාවිත කළ කාන්තා සනීපාරක්ෂක තුවා ආදීය රැස් කොට යළි රැගෙන යැවීමට ප්‍රදේශවාසීහු සහ පොලීසිය පියවර ගත්හ. සැකකරු රන්පොකුණුගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන බව පොලිසිය කියයි.
- තිලකරත්න දිසානායක -
0 Comments