බන්ධනාගාරවල තිබෙන තදබදය, ඉඩකඩ ප්‍රශ්නය සහ යල් පැනගිය පද්ධති යන ප්‍රධාන කරුණු ඇතුළු හේතු රැසක් නිසා මෙරට බන්ධනාගාරවල ඛේදජනක තත්වයක් පවතින්නේ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

සිරකරුවන්ට සැලකීම සහ ඒවායේ තත්වය සම්බන්ධයෙන් 2018 වසරේ පෙබරවාරි මාසයේ සිට 2020 වසරේ ජනවාරි මාසය දක්වා කාලයේ දී මෙම අධ්‍යයනය කර තිබෙන අතර ජාතික මට්ටමින් මෙවැනි අධ්‍යයනයක් කළ පළමු අවස්ථාව ද මෙය වේ.


තිස්තුන් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අධ්‍යයනය කර තිබෙන අතර මෙරට තිබෙන බන්ධනාගාර විස්සම ඔවුන්ගේ පරික්ෂාවට ලක් වී තිබේ. බන්ධනාගාර පරික්ෂා කරමින් තොරතුරු රැස් කිරීමට අමතරව මෙම අධ්‍යයනයේ දී අධ්‍යයන කණ්ඩායම සිරකරුවන් 3,000කට සහ බන්ධනාගාර නිලධාරින්ට ප්‍රශ්නාවලි ඉදිරිපත් කරමින් සහ සම්මුඛ සාකච්ඡා පවත්වමින් තොරතුරු ලබාගෙන තිබේ. මෙම අධ්‍යයනයේ දී බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම හිටපු අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යවරයා මෙන්ම නීතිපතිවරයා සමඟ ද සම්මුඛ සාකච්ඡා පවත්වමින් තොරතුරු රැස් කර තිබේ.

බන්ධනාගාරවල තිබෙන දරුණු ඉඩ ප්‍රශ්නය හේතුවෙන් ඇතැම් සිරකරුවන් නිදාගෙන ඇත්තේ මාරුවෙන් මාරුවට බවත් ඉඩකඩ ප්‍රශ්නය නිසා ඇතැම් පිරිස් වැසිකිළි කාමරවල පවා නිදාගෙන ඇති බවත් මෙම අධ්‍යයනයෙන් සොයාගෙන තිබේ. ඉඩකඩ ප්‍රශ්නය නිසාත් තදබදය නිසාත් සිරකරුවන්ට සනීපාරක්ෂක පහසුකම් සහ ජල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලැබී නැති බවත් මෙම අධ්‍යයනයෙන් වාර්තා වේ.

රාත්‍රී කාලයේ දී සිරකරුවන් ඔවුන්ගේ කුටීරවලට දමා අගුලු දමන බැවින් ඔවුන්ගේ කුටීරවලින් පිටත තිබෙන වැසිකිළිවලට යෑමට නොහැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සිය ශරීර කෘත්‍ය බැහැර කිරිමට පොලිතින් බෑග්, ප්ලාස්ටික් හෝ වෙනත් බකට් හෝ පනිට්ටු භාවිත කිරීමට සිදුව ඇති බවත් අදාළ අධ්‍යයනයේ දී සොයාගෙන තිබේ. ඇතැම් විටෙක එකම සිර කුටීරයක සිටින  සිරකරුවන් කිහිපදෙනකුට එකම බෑගය/ බකට් එක භාවිත කිරීමට සිදු වූ අවස්ථාවන් පිළිබඳව මෙම අධ්‍යයනයේ දී දැනගන්නට ලැබී තිබේ.


මෙම අධ්‍යයනය අතරවාරයේ දී කරන ලද සමුඛ සාකච්ඡාවක දී වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවකු මෙසේ පවසා ඇත. “අපට රෑට මළපහ කරන්න වුණාම වැසිකිළියට යන්න විදියක් නැහැ. අපි කරන්නේ ෂොපින් බෑග් එකකට මළ පහ කරන එක. ඒක ගැටගහලා උදේට ටොයිලට් එකට දානවා. අපට මුළු රෑම ඒ ගඳ ඉවසගෙන ඉන්න වෙනවා. මුල් දවස්වල මගේ කාමරේ 11 දෙනෙක් හිටියා". දුර්වල සහ අයහපත් සනීපාරක්ෂාව හේතුවෙන් මීයන්, මදුරුවන්, කෘමීන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් බන්ධනාගාරවල සිටින බව ද මෙහිදී සොයාගෙන තිබේ.

බන්ධනාගාරවල සිරකරුවන්ට ලබාදෙන ආහාර ද හොඳ තත්ත්වයක නොපවතින බවත් ඇතැම් විට ආහාර නරක් වී ඇති බවත් වාර්තා වේ. වැලිකඩ බන්ධනාගාරය හැර අනෙකුත් කිසිදු බන්ධනාගාරයක දුරකතන පහසුකම් නොමැති වීම නිසා සිරකරුවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හෝ නීතිඥයන් සමඟ සබඳතා පැවැත්වීමට නොහැකි බව ද මෙම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.

බන්ධනාගාරවල තිබෙන ඉහළ මට්ටමේ මානසික පීඩාකාරී තත්ත්වය නිසා ඇතැම් සිරකරුවන් සියදිවි හානි කරගැනීමට ද ඇතැම් අය ඔවුන්ට හානි කරගැනීමට ද  උත්සාහ කර ඇති බව ද මෙම අධ්‍යයනයේ දී සොයාගෙන තිබේ.

බන්ධනාගාරයේ වැඩ කිරීම වෙනුවෙන් වැරැදිකරුවන් වූ රැඳවියන්ට දිනකට රුපියලක් ගෙවන අතර දශක ගණනාවකින් එම මුදල සංශෝධනය කර නැතැයි ද මෙම අධ්‍යයනයේ දී අනාවරණය වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස කිසිදු ජීවනෝපයක් නොමැති අයකු ලෙස සිරකරුවන් නැවත සමාජයට මුදා හැරෙන අතර සිරගතව සිටීමේ කැළල හා කම්පාව සමඟ මෙන්ම සමාජයට නැවත සම්බන්ධ වීමට නොහැකි වීම යන කරුණු මත ඔවුහු දැඩි පීඩාවකට පත්වෙති.

මෙම තත්වය හේතුවෙන් දැඩි අවදානම් එල්ල වී ඇත්තේ මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුම් නියම වූ සිරකරුවන්ට ය. ඔහුගේ දඬුවම අවසාන වන දිනයක් නොමැති හෙයින් දින නියමයක් නොමැතිව ඔවුහු බන්ධනාගාරවල රඳවා තැබෙති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සිරකරුවන් දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ සිට ඇති බවත් රැඳවුම් නියෝග මත සිටි කාලයේ දී ඔවුන් වදහිංසාවලට ලක්වූ බවත් මෙම අධ්‍යයනයේ දී සොයාගෙන තිබේ. එමෙන්ම ඔවුන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවල දී ඔවුන්ගෙන් පාපොච්චාරණවලට බලෙන් අත්සන් ලබාගෙන ඇති අතර බොහෝ අවස්ථාවල දී ඒවා ඔවුන්ට විරුද්ධව සාක්ෂි ලබාගෙන ඇත.

මේ අතර මෙරට බන්ධනාගාර පද්ධතිය ප්‍රතිව්‍යුහගත කරන බවත් බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා රැඳවියන් නිදහස්  කරන බවත් මෙම ආණ්ඩුව දැනටමත් නිවේදනය කර ඇත.

- ඊශ්වරන් රත්නම් -