ශ්‍රී  ලංකා නාවික හමුදාවේ බූස්ස පිහිටි කපිතාන් සේවා කඳවුරේ වාහන පිරිසුදු කරමින් සිටි නාවික
හමුදා රියැදුරකු කඳවුර තුළදී නාවික හමුදාවේම ලොරි රථ දෙකකට මැදිවී ඊයේ (28දා) දහවල්
මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ නාගොඩ, කැප්පිටියගොඩ පදිංචි නාවික හමුදා රියැදුරෙකි. ඔහු ඊයේ (28දා)
පෙරවරුවේ එක ලොරියක් සෝදා තරමක උස් ස්ථානයක නිව්ටල් කර නතරකොට තවත් ලොරියක් සෝදා ඇති
බවත් එසේ සෝදමින් සිටියදී නිව්ටල් එකේ තිබූ ලොරිය ඇදී ඇවිත් අනෙක් ලොරියේ වැදී ඇති බවත් එවිට ඔහු
ලොරි දෙකට මැදිවී ඇති බවත් පොලිසිය පවසයි.

පසුව වහාම ලොරි දෙක ඉවත් කොට තුවාලකරු කරාපිටිය රෝහලට ගෙනගොස් ඇති අතර එසේ රෝහලට ගෙන
එනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් විතාන මහතා පැවැසුවේ මේ
සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවය. ඒ අනුව ගාල්ල
මහෙස්ත්‍රාත්වරයා ඊයේ (28දා) බූස්ස කඳවුරට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට
නියමිතව තිබිණි.

ගාල්ල - ෆර්හාන් නිසාම්දින්, අහංගම _ එන්.ජී. ලියනගේ