කහටගස්දිගිලිය මුක්කිරියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරුවරයකුගේ හිසට ඊයේ (21) පෙරවරුවේ එම විද්‍යාලයේම සිසුවකු පුටුවකින් පහරදීම නිසා තුවාල ලැබූ ගුරුවරයා ප්‍රතිකාර සඳහා කටහගස්දිගිලිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. දෙමළ භාෂාව විෂය උගන්වන එම්. රෂීම් නමැති  මෙම ගුරුවරයා පසුගිය සති අන්තයේදී මේ සිසුවා ඉගෙනුම ලබන අ.පො.ස. උසස් පෙළ පන්තියේ සිසුන්ට ගෙදරදී කරගෙන එන්නට දුන් පාඩම් පිළිබඳව ඊයේ පෙරවරුවේ පන්තියේදී විමසා ඇත.
ඒ අවස්ථාවේදී මේ සිසුවා ඒ පාඩම් ගෙදරදී නොකිරිම ගැන ගුරුවරයා ඔහුට දොස් නගා අවවාද කර තිබේ. ඉන් කෝපයට පත් සිසුවා තමන් වාඩි වී සිටි පුටුව ඔසවා  ඉන් ගුරුවරයාගේ හිසට පහර දී තිබේ.


පහරකෑමට ලක් වූ ගුරුවරයා ප්‍රතිකාර සඳහා කහටගස්දිගිලිය රෝහලට රැගෙන යන අතරතුරදී පහරදීම සිදු කළ සිසුවා පන්තියෙන් පලා යාමට උත්සාහ දරා තිබිණි.  ඒ අවස්ථාවේ ගුරුවරුන්ගේ ද සහායෙන් පන්තියේ අනෙක් සිසුන් ඔහු අල්ලාගෙන ඔහුගේ පියාට බාරදී ඇත. පියා සිය යතුරුපැදියේ පසුපස අසුනේ පුතා වාඩි කරවාගෙන නිවෙසට රැගෙන යන අතරතුරදී සිසුවා යතුරුපැදියෙන් පැන පලා ගොස් තිබේ. රෝහල්ගත කෙරුණු ගුරුවරයාගෙන් හා සිද්ධිය දුටු සිසුන්ගෙන් ද සාක්ෂි සටහන් කරගත් කහටගස්දිගිලිය  පොලිසිය පහරදීම සිදුකළ සිසුවා සිය බාරයට ගැනීම සඳහා පරික්‍ෂණ පවත්වයි.

-දයාරත්න ඇඹෝගම-