මේ වනවිට රටේ යම් ව්‍යාකූලකාරී තත්ත්වයක් උද්ගතව පවතින අවස්ථාවේ පළාත් සභා මැතිවරණය
කඩිනමින් පැවැත්වීමට රජය උත්සාහ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මල්වතු - අස්ගිරි උභය මහ විහාර මහ සංඝරත්නය අවධාරණය කරති.

මෙම අවස්ථාවේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට රජයට බල කරන ලියවිල්ලකට අස්සන්
ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව ඊයේ (27දා) මල්වතු - අස්ගිරි  මහ විහාර වෙත පැමිණි
අවස්ථාවේ මහා සංඝරත්නයේ විරෝධය පළවිය.


මෙහිදී අදහස් පළ කළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියෝ සඳහන් කළේ,
මෙම අවස්ථාවෙහි සෞඛ්‍ය ආරක්‍ෂාවට ප්‍රමුඛතාව ලබාදෙමින් කඩා වැටී ඇති ආර්ථිකය යළි නඟාසිටුවීම
උදෙසා පවතින ජාතික ධනය ආරක්‍ෂා කරගනිමින් කටයුතු කරනවා විනා මැතිවරණ පවත්වමින් එම ධනය
නැති නාස්ති නොකොට ජනතාවට සහන ලබාදිය යුතු බවයි. මෙය මැතිවරණ පැවැත්වීමට අවස්ථාව නොවන බවද උන්වහන්සේ කීහ.

ජාතික සංවිධාන එකමුතුවෙහි නියෝජිතයෝ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය
මැදගම ධම්මානන්ද නාහිමියන් බැහැදැක එම ලියවිල්ල සඳහා අස්සන් ලබා ගත් අතර මැදගම ධම්මානන්ද
නාහිමියෝ මෙහිදී කියා සිටියේ මෙම අවස්ථාවේ කිසිසේත්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය
ඉක්මන් නොවිය යුතු බවයි.

ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් පැමිණි කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශ අංශාධිපති
ආචාර්ය මල්වානේ චන්ද්‍රරතන හා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ
කථිකාචාර්ය ආචාර්ය කපුගොල්ලේ ආනන්ද කිත්ති හිමිවරු මෙහිදී සඳහන් කළේ මෙය කිසිසේත්ම මැතිවරණ පැවැත්වීමට සුදුසු කාලවකවානුවක් නොවන බවයි.

මෙම ආණ්ඩුව පත් කිරීම සඳහා ගාමක බලවේගයක් ලෙස පෙනී සිටිමින් ජනතාව මෙහෙයවන ලද ජාතික
සංවිධාන එකමුතුව නියෝජනය කරනු ලබන ජාතික බලවේගය 2019 නොවැම්බර් 16 ඓතිහාසික ජනවරමට සාධාරණය ඉටු කිරීමට බැඳී සිටින බවත් එහෙයින් මෙම ඉල්ලීමට පිටුපා පළාත් සභා මැතිවරණය
පැවැත්වීමට රජය උත්සාහ කළහොත් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව උන්වහන්සේලා සඳහන් කළහ.

මහනුවර - කේ. එල්. සුරවීර