හිඟුරක්ගොඩ, පොම්ප හවුස් හන්දිය ප්‍රදේශයේ පිහිටි වාහන සේවා ස්ථානයකට සේවා පහසුකම් සඳහා රැගෙන විත් තිබූ මෝටර් රථයක තිබී විදේශ රටක නිෂ්පාදනය කරන ලද අත් බෝම්බයක් ඉකුත් (06) සවස හමු වී ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.


මෝටර් රථයේ සේවා කටයුතු සිදුකිරීමට පෙර එම ආයතනයේ සේවකයකු මෝටර් රථයේ ඇතුළත පිරිසුදු කරමින් සිටියදී වාහනයේ පිටුපස කොටසේ අමතර රෝදය තැත්පත්කර තිබූ ස්ථානයේ තිබී මෙම අත් බෝම්බය හමු වී තිබේ. මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් එහි පැමිණ විමර්ශන ආරම්භකර ඇති අතර මෝටර් රථයේ හිමිකරුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ද පොලිසිය සඳහන් කළේය.

විමර්ශන අවසන් වීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයට දැනුම් දී එම අම්බෝම්බය නිෂ්ක්‍රීය කර විනාශ කිරීමට පියවර ගන්නා බව ද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිහු පැවැසූහ.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි හිගුරක්ගොඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
- ක.ග. කරුණාරත්න -