ලබන ජනවාරි පළමුවැනිදායින් පසු ඇතැම් පොලිතීන් වර්ග තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා
පොලිතීන් කර්මාන්තයේ නියැළී සිටින තුන් ලක්‍ෂයක පමණ පිරිසකගේ රැකියා අහිමි වී ඔවුන් මහ මඟට
වැටීමේ අනතුරක් පැනනැඟී ඇති බව සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රියකරණය
කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පවසයි.

තම සංගමයේ සාමාජිකත්වය දරන පොලිතීන් නිෂ්පාදන ආයතන සහ ප්‍රතිචක්‍රියකරණ ආයතන සියයකට වඩා
ඇති බවත්, එම කම්හල්වල සේවකයන් හතළිස් දහසකට වැඩි පිරිසක් සේවය කරන බවත්, රජයේ අත්තනෝමතික
තීරණය නිසා එම ඍජු රැකියා අවස්ථා සියල්ලම අහිමි වී පවුල් හතළිස් දහසක් මහ පාරට වැටීම
මෙම
තහනමේ මුල් අවස්ථාවේදීම සිදුවන බව අනුර විජේතුංග මහතා පෙන්වා දෙයි.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන පොලිතීන් නිෂ්පාදන සහ පොලිතීන් ප්‍රතිචක්‍රියකරණ සංගමයේ
සභාපති අනුර විජේතුංග මහතා මෙසේද සඳහන් කරයි. වසර 2015දී යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත්
සමඟම පොලිතීන් තහනම් කළ යුතු බවට සංවිධානාත්මක මතයක් පැතිරෙන්නට පටන් ගත්තා. මෙහිදී ඇතම්
දේශපාලනඥයන් පොලිතීන් මාරයා කියන වචනය පවා යෙදුවා. පොලිතීන් කියන්නේ මාරයෙක් නොවෙයි. මෙහි
තිබෙන්නේ මිනිසුන්ගේ පොලිතීන් භාවිතාවේ ප්‍රශ්නයක් විතරයි. 2015දී යහපාලන ආණ්ඩුව මඟින් පත්කළ
දහසය දෙනකුගෙන් යුතු කමිටුවක් පොලිතීන් ගැන පරීක්‍ෂණ පවත්වන්නට පටන් ගත්තා. මේ කමිටුව පත්කළේ
කැබිනට් මණ්ඩලය විසිනුයි.

මේ විද්වත් කමිටුව පොලිතීන් සම්බන්ධයෙන් ගත් තීන්දු එකක්වත් පරිසරයට සාධනීය ලෙස බලපෑවේ නැහැ.
කමිටුව එම තීරණ ගත්තේ පොලිතීන් කර්මාන්තයේ ප්‍රායෝගිකව යෙදී සිටින අයගේ අදහස් කිසිදු
ආකාරයකින්වත් විමසීමකින් තොරවයි. මෙහිදී කසළ කළමනාකරණය පිළිබඳව මේ රටේ ඉන්න බලධාරීන් කිසිම
වගකීමක් නැතිව වැඩ කළා. කමිටුව විසින් පොලිතීන් සම්බන්ධයෙන් එදා ගත් තීරණ වැරැදි බව පරිසර
අමාත්‍යාංශයත් ලංකා වාණිජ මණ්ඩලයත් පිළිගත්තා. මෙවර පොලිතීන් තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති
තීරණය යහපාලන රජයේ අදූරදර්ශී තීරණයේම දිගුවක්.

පොලිතීන් තහනම් කළ නොහැකි බවත් එවැනි තහනමක් මඟින් මේ රටේ ඇසුරුම් කර්මාන්තයට විශාල හානියක්
විය හැකි බවත් සඳහන් කළ අනුර විජේතුංග මහතා කළ යුතුව ඇත්තේ අවසන් පලයේදී පවුල් තුන් ලක්‍ෂයක්
මහ මඟට ඇද දමන පොලිතීන් තහනම නොව බාල පොලිතීන් වර්ග නිපදවීම වළක්වන නියාමන ක්‍රියාවලියක්
බවද අනුර විජේතුංග මහතා සඳහන් කරයි.