යක්කල හංසගිරි පාරේ වැටී සිටියදී 1990 සුවසැරිය ගිලන් රථයකින් ඉකුත් 4 වැනිදා අලුයම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති යුද හමුදා සෙබළාගේ මරණය මිනීමැරුමක් බවට අනාවරණය වී ඇතැයි යක්කල පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

ඌරගස්මංකඩ, දියකඩිත්තවත්ත ප්‍රදේශයේ පදිංචි යක්කල ඇපරල් යුද හමුදා කඳවුරේ සේවය කළ 27 හැවිරිදි පුබුදු නුවන් කරුණාරත්න යන අය මරණකරු විය.


මරණකරු බුත්පිටිය, අරමංගොඩ ප්‍රදේශයේ පදිංචි සොහොයුරියගේ නිවසේ සිටියදී එම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව එම කාන්තාව විසින් මරණකරුට උල් ආයුධයකින් ඇත ඇති බව පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි යක්කල පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

උල් ආයුධයකින් ඇනීමෙන් අනතුරුව තුවාල ලැබූ මරණකරු වාහනයකින් හංසගිරි පාරට ගෙනත් දැම්මේද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

එම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා විසින් ඊයේ (04) සවස පවත්වනු ලැබීය.

යක්කල පොලිසියේ සැරයන් ගුණසිරි (40464) මහතා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් සමග ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ගොස් මළසිරුර නිරික්ෂණය කළ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා එම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය. එම මරණයට හේතුව ජනවාරි මස 11 වැනිදාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට වැඩිදුරටත් නියම කෙරුණ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කර සැකකරුවන් හෝ සැකකාරියන් සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා යක්කල පොලිසියට නියම කළේය.

- ටෝනි කරුණානායක -