මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ගෝනහේන ප්‍රදේශයේ 42 හැවිරිදි එක්දරු මවකගේ හදිසි මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට හෝ ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරයාට
දැනුම් නොදී අවසන් කටයුතු කිරීමට අවසර දීම සම්බන්ධයෙන් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කඩවත පොලිසියට දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත දැනුම්දීමට පියවර ගත් බව කළ විමසුමකට කෙටි පිළිතුරු දෙමින් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ මහතා පැවැසීය.

මේ දිනවල පවතින කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් ඕනෑම මරණයක් පිළිබඳව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුම්වත් කළ යුතුව ඇති නමුත්, එය නොසලකා හරිමින් ඉකුත් 4 වැනි දින සිය නිවසේදී මියගොස් ඇති මෙම කාන්තාවගේ අවසන් කටයුතු සිදුකිරීමට අවසර දීම චක්‍රලේඛයට පටහැනිව කටයුතු කිරීමක් බව කළ වීමසීමේදී දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කළේය.

මරණය සිදුවීමෙන් පසුව මරණකාරියගේ ඥාතීන් විසින් දේහය මල්ශාලාවක් වෙත ද රැගෙන ගොස් අවසන් කටයුතු සිදුකිරීම පිණිස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණ අදාළ සහතිකය ඉල්ලා සිටි අවස්ථාවේ තමත් මෙම මරණය සම්බන්ධයෙන් දැනගැනීමෙන් අනතුරුව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍යප පරික්ෂකවරයාගෙන්ද විමසූ මුත්, ඔහුද දැනුම්වත් කොට නොමැති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිහාල් ගමගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
- තිලකරත්න දිසානායක -