ගණිකා ඇසුරට මුදල් සොයාගැනීම සඳහා ත්‍රිරෝද රථ 3ක් සමග යතුරු පැදියක් සොරාගත් සැකකරුවකු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 16 දින දක්වා රක්ෂිත  බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, 23 හැවිරිදි ගම්පොළ උනම්බුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සැකකරු විසින් රාත්‍රී කාලයේදී විවිධ ස්ථානවලට ගොස් මෙම ත්‍රිරෝද රථ සොරා ගෙනැවිත් ඒවා කොටස් කර විකුණා ඇති බවත්, සැකකාර තරුණයා යුධ හමුදා පුහුණුව පවා ලබා ඉන් ඉවත්ව ඇති බවත් තදින්ම ගණිකා ඇසුර සදහා ඇබ්බැහි වී ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු දන්වා සිටියේය.

මෙලෙස නාවලපිටිය ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයක්ද, ගම්පොළ නුවර මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක්ද, කනම්පිටිය ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයක් සහ පේරාදෙණිය ප්‍රදේශයෙන් යතුරු පැදියක් මෙසේ සොරාගෙන ඇති බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

නාවලපිටිය ප්‍රදේශයෙන් සොරකම් කරගෙන පැමිණි ත්‍රිරෝද රථය ගම්පොළදී විකිණීමට සූදානම් වීමේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය හීන්කෙන්ද, ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල බණ්ඩාර,  උප පොලිස් පරික්ෂක අසංක, දසනායක, සෙනවිරත්න මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
- සුරංග දිල්හාන් -