බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මෝල්කාව හරහා කුඩා ගඟට ගලා බස්නා මගුරු ගඟේ පසුගිය දිනවල කිඹුලන් කිහිප දෙනෙකු දක්නට ලැබීමෙන් ප්‍රදේශවාසීහු භියට පත්ව සිටිති. මෝල්කාව - බදුරලිය ප්‍රධාන මාර්ගයේ මාරගහදෙනිය පාලම අසල හිරු නැගෙන අවස්ථාවල මෙම කිඹුලන් දක්නට ලැබෙන බවත් දිග අඩි 8-10-20 වැනි ප්‍රමාණාවල කිඹුලන් සිටින බවත් ඔවුහු පවසා සිටියහ.


පසුගිය කාලයේ පැවති ගංවතුර තත්වය නිසා කළු ගග දිගේ ඉහළට පැමිණි මෙම කිඹුලන් මෙයට පෙර පැලැන් ගඟ, කුකුළු ගඟ, කුඩා ගඟ සහ යටගම්පිටිය ග‍ගෙන් ද දක්නට ලැබුණු බවත් තවත් අවස්ථාවක කිඹුලකුට වෙඩි   තබා සිරුරක් පාව යන දර්ශනයක් දුටු බවත් ප්‍රදේශවාසීහු පැවසූහ. එම අවස්ථාවල උඩවලව වනජීවී නිලධාරින් පැමිණි කිඹුලන් රැගෙන ගිය බවත් ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ.

නැවතත් මෙලෙස කිඹුලන් දර්ශනය වීම හේතුවෙන් ගංගාවල වැලිගොඩ දමන පිරිස්, දියනෑමට පැමිණෙන පිරිස් මෙම ගංගා ඇලදොළ තරණය කරන පිරිස් ද මහත් බියට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කුකුළේ ගඟ ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ නන්දන ශ්‍රී කොට්ටේගොඩ මහතා මෙසේ පැවසීය.

"මෙයට වසර ගණනාවකට පෙරද මෙලෙස කිඹුලන් කිහිපදෙනෙකු දක්නට ලැබුණා. වනජීවී අංශ කියන පරිදි මෙම ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ ලෝකයේ භයානකම කිඹුල් විශේෂයක් වන ගැට කිඹුලන්. පහුගිය දිනවල හරකුන්, එළුවන්, බල්ලන්, බළලුන් වගේ සතුන් අතුරුදන් වෙන්න පටන් ගත්තා. ගංවතුර කාලේට ඉහළට ආව කිඹුලන් තමයි මේ වර්ධනයෙ වෙලා ඉන්නේ. දවසක් ගම්වැසියන් ඉඩමක් එළි කරනකොට කිඹුලට උදලු පාරක් වැදිලත් තිබුණා. මේ හේතුව නිසා මෝල්කාව, කොලඹෑව, කොස්ගුලන, පරගොඩ, දඹල, මොරවක, ගලහිටිය සහ ඉහළ වෙල්ගම ආදී ගම්මානවල ජනතාව භීතියට පත් වෙලා ඉන්නේ. මිනිසුන් ජීවිත ආරක්‍ෂාව පතා කිඹුලන්ගේ ජීවිත හානි කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා කිඹුලන්ගේ ජීවිත ආරක්ෂාවට වගේම මිනිස් ජීවිත ආරක්ෂාවටත් ඉක්මනින්ම මේ කිඹුලන් අල්ලා වනජීවී කලාපයකට මුදාහරින්නයි බලධාරින්ගෙන් ඉල්ලනවා.

- මංගල එදිරිසිංහ -